මෙරට දී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගම මෙරටට ආගන්තුක නැව් සමාගමක් නොවන බවත්, අවුරුදු තිහක පමණ කාලයක සිට ලංකාවේ හොඳ ගණුදෙණුකරුවෙක් බවද නාවුක නීති විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා පවසයි.
එසේම මෙම ගිනිබත් වූ නෞකාවේ රැගෙන ගිය භාණ්ඩද නීති විරෝධි නැති බවත් භාණ්ඩ ප්‍රවාහනය නීත්‍යානුකූල බවද ඔහු පවසා සිටියි.
එසේම මේ නැව පැමිණෙන අවස්ථාවේ ලංකාවේ වරායේද අන්තරාදායක ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහාලුම් තිබූ බවත්, නැව වරයාට පැමිණ ගිනි ගත්තේනම් මීට වඩා හානියක් සිදු විය හැකි බව පවසා තිබුණේ ඒ නිසා බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙතැන ඇත්තේ නැව පැමිණි ක්‍රමවේදයේ යම් යම් අඩු ලුහුඬුකම් තිබුණාද? නැතහොත් මෙයට කළ යුතු ප්‍රතිකර්ම හරියට කළාද යන්න ගැටළු බවද ඔහු කියා සිටියි.
නාවුක නීති විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර
එසේම නැවක් යම් කිසි සමාගමකට හෝ පුද්ගලයෙකුට අයත් වූවද එය ජාත්‍යන්තර මුහුදේ යාමට නම් නැවට ලියාපදිංචියක් අවශ්‍ය බවත් මේ නැව ඕනෑම රටක ලියාපදිංචි කිරීමේ හැකියාව නැව් හිමිකරුට ඇති බවත් පවසන ඔහු පවසන්නේ මේ ලියාපදිංචියත් සමඟ නැවට ලියාපදිංචි රටේ පුරවැසිභාවය හා ඒ රටේ කොඩිය දැමීමේ අයිතිය හිමි වන බවත් ඒ 1982 එක්සත් ජාතීන්ගේ මුහුද සම්බන්ධ නීතී ප්‍රඥප්තිය යටතේ බවත්ය.
මෙහිදී නැව් හිමිකරුවන් මේ නැව් ලියාපදිංචිය සඳහා බොහෝ විට තෝරා ගනු ලබන්නේ බටහිර කොදෙව් රටවල් බවත් ඊට හේතු වී ඇත්තේ නැව් ආදායම් බදු අඩු රටවල් වීම බවද පෙන්වා දෙන මාලික ගුණසේකර මහතා පවසන්නේ නැවක් හදන අවස්ථාවේ ලබාදෙන IMO අංකය නැවේ අවසානය දක්වාම වෙනස් නොවන අතර නමුත් නැවේ ජීව කාලය තුල නැව විකිණීමට, කුලියට දීමට මෙය බාධාවක් වන්නේ නැති බවය . එසේම නැවකට එකවර රටවල් කිහිපයක වූවද පුරවැසිභාවය ලබා ගත හැකි බවත්, නැවේ නම මාරු කිරීමේ හැකියාවද ඇති බවය.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මෙරට මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ නෞකාව සම්බන්ධව පවතින නාවුක නීති පිලිබඳ නීතිඥ දුලාන් දසනායක මහතා ඇසූ ගැටළු වලට පිලිතුරු දෙමිනි. මෙම සාකච්ඡාව සුම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
සම්පුර්ණ වීඩියෝව පහතින්.