සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?

කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ  වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි.

මේ අවස්ථාවේ සෞඛ්‍ය අංශ සිටින්නේ දැඩි අවදානමකය. ඔවුන් හට කොවිඩ් ආසාදිතයින් හා ගැටෙමින් කටයුතු කිරීමට සිදුව ඇත. එමෙන්ම පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීමට සිදුව ඇත. මේ සියලු කටයුතු වලින් පසුව ඔවුන් නිවෙස් වලට ගොස් දරුවන්, සැමියන්, මව්වරුන් සමඟ කාලය ගත කිරීමට සිදු වේ. මේ සියලු කරුණු වලදී අවදානමක් සෞඛ්‍ය සේවකයා වටා ඇත.  මෙහි ආසන්නතම සිදු වීම වාර්තා වුයේ මාරවිල රෝහලෙනි. ඒ එහි හෙදියක් කොවිඩ් ආසාදිත වීමත් සමඟ ඇයගේ සැමියා, කුඩා දරුවා, දෙමාපියන් දෙදෙනා ඇතුලු පවුලේ සියලු දෙනාම කොවිඩ් ආසාදිතයින් වූහ.

මේ නිසා පහුගියදා සෞඛ්‍ය  අංශ රජයෙන් ඉල්ලා සිටියේ ග්‍රාමීය මට්ටමින්‍ කොවිඩ් මර්දන රාජකාරිවල නිරතව සිටින සියලු සෞඛ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන ලෙසටය.

නමුත් අද වනතුරුත් එය විධිමත් වැඩපිලිවෙලක් ඔස්සේ සිදුවන බවක් පෙනෙන්නට නැත. මේ නිසා බොහෝ සෞඛ්‍ය සේවකයින් සිටින්නේ දැන් කලකීරීමට පත්වය. දිනෙන් දිනම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ් ආසාදිත වෙමින් පවතින අවස්ථාවක රජය තමන්ට සලකන ආකාරය පිලිබඳ මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති අතරින්ද විරෝධ මතුවෙමින් ඇත.

මෙහි එක් පියවරක් ලෙස සෞඛ්‍ය බළධාරීන් මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් ‍හෙට (25) පෙරවරුවේ සිට කොවිඩ් මර්දන රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කිරීමට ඔවුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ  හෙට පෙරවරුවේදී මෙම වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ‍ වෘත්තීය සමිති 18 ක් එකඟ වී සිටින බවය.

දැනට සිදු වන්නේ  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයන් සඳහා විශේෂ සැලකිල්ලක් ලබාදෙමින් එන්නත් ලබාදීමට පියවර ගන්නවා වෙනුවට  කිසියම් රෝහලක හෝ සෞඛ්‍ය ආයතනයක එක් වෘත්තියකට පමණක් විශේෂ සැළකිල්ලක් දක්වමින් එන්නත වරප්‍රසාදයක් ලෙස භාවිතා කිරීමකි.

මේ අතර පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බලමණ්ඩලය කියා සිටීන්නේ එන්නත් ලබා දීමේදී වෛද්‍ය නිළධාරීන්ගේ පවුල් වල සාමාජිකයන්ට විශේෂතාවයක් දක්වමින් එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබාදී ඇති බවත් වාර්තා වී ඇති බවය.  එසේම ස්පුට්නික් V වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ඉතා සුළු ප්‍රමාණයක් රටට ලැබී ඇති බවත් එම එන්නත් ඉහත අවශ්‍යතාවය සඳහා පමණක් භාවිතා කිරීමට උත්සහ දරමින් සිටින බවත් එම සංගමය කියා සිටියි.

රටේ ඕනෑම පුරවැසියෙකු තමන්ට හෝ තම පවුලේ සාමාජිකයාට එන්නතක් ලබා දීම සඳහා තම තමන්ගේ සියළු හැකියාවන් භාවිතා කිරීම රෝගයකින් ගැලවීමට දරන අසාධාරණ උත්සහයක් නොවනු ඇතැයිද  නමුත් පරිපාලනමය වශයෙන් අදාල තීන්දු ගන්නා වෛද්‍ය නිළධාරීන් තම වර්ගයාට වඩා වැඩි සැලකිල්ලක් සිදු කිරීම සඳහා එන්නත භාවිතා කිරීම දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවද පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බලමණ්ඩලය සඳහන් කර සිටියි.

සෞඛ්‍ය අංශ වෘත්තීය ක්‍රියා මාර්ග වලට එළඹුණහොත් අසරණ වන්නේ රෝගීන්ය. ඒ නිසා තවදුරටත් රෝගීන් පීඩාවට පත් නොකර රජය වහාම මෙයට පිලියමක් ලබා දිය යුතුව ඇත.

-ශානි-

Social Sharing
නවතම