තොරතුරු සීමා කිරීමට කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නෙමේ – රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අලුත් ලෙස යවා තිබු මෙම චක්‍රලේඛය පැරණි එකක් බවත් මන්ද මෙහි සඳහන් කර ඇති වගන්තිය පැරණි එකක් යැයිද ඔහු පෙන්වා දෙයි.

100% ක් ජනතාවට වග වෙන සියලු පහසුකම් වලින් සහිත සෞඛ්‍ය සේව සේවාවක් නැති කොට මෙම තොරතුරු වාරණය කිරීම ඉතාම නරක තත්ත්වයක් බව අවධාරණය කරන ඒ මහතා පවසන්නේ බිම් මට්ටමේ දැනෙන දේවල් අද සෞඛ්‍ය සේවකයින්ට 75% ක්ම මාධ්‍යට ලබා දීමට සිදු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වට මේසයක් නැති නිසා බවය.

වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා ඔහුට රුචි නිලධාරී කිහිප දෙනෙක් සමඟ පමණක් සාකච්ඡා පවත්වා තීන්දු තීරණ ගන්නා බවත් සැම විටම බිම් මට්ටමේ සිටින නිලධාරීන් නොසලකා ඉහළ සිට පහලට නියෝග නිකුත් කරන බවත් මෙය ඇතැම් විට ඔහු හමුදාවේ සිටි නිසා මේ ගතිකත්වයට පත් වන්නට ඇතැයිද පවසන රවී කුමුදේශ් මහතා සඳහන් කරන්නේ අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන දෙයක්වත් මොහු පිළිගන්නේ නැති බවය.

වෙන රටවල සෞඛ්‍ය අමාත්‍යංශ වල න්‍යාය පත්‍ර හැදුවත් අපේ රටේ වසංගතය පාලනය කරන්න හරිහැටි සැලැස්මක්වත් නැතැයිද සාමුහික තීරණ ගන්නා ත්‍රියාවලියක් නැතැයිද හෙතෙම කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති අඩුපාඩු ගැන ඇතැම් අවස්ථා වල ජනාධිපතිවරයාවත් දන්නේ නැති බවත් නිදසුනක් ලෙස බණ්ඩාරනායක ගුවන්තොටුපලට රසායනාගාරයක් හිමි වුයේ මාධ්‍යමඟින් ඒ අඩුපාඩුව පෙන්වා දීමෙන් පසුව ජනාධිපතිවරයා දැනුවත් වු නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

තොරතුරු සීමා කිරීම හා කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නොවන බවත් වෘත්තිය සමිති සමඟ සෞඛ්‍ය ලේකම්වරයා මසකට වරක්වත් වට මේස සාකච්ඡාවක් ලබා දෙන්නේ නම් මේ අඩුපාඩු ජනමාධ්‍යට කීමට සිදුවන්නේ නැතැයිද ඔහු පවසයි.

රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) දින සූම් තාක්ෂණය ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කරන ලද වසංගතයෙන් වසන් වෙන තොරතුරු සංවාදශීලි කථිකාවතට එක් වෙමිනි.

මේ කථිකාවතට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන. මනෝ වෛද්‍ය හසංගි සෝමදාස, සිටිසන් ෆැක්ට් චෙක් හි සහාය සංස්කාරක මනේෂ්කා බෝරම්, මාධ්‍යවේදීනී  යොෂිතා පෙරේරා ද එක් වූ අතර මෙහෙය වීම නීතිඥ දුලාන් දසනායක විසින් සිදු කරන ලදි.

-ශානි-

Social Sharing
නවතම