දේවි බාලිකාව වෙනුවෙන් දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පෙරට එයි!

කොළඹ දේවි බාලිකා විද්‍යාලය පිලිබඳ මේ වන විට රටේ කතාබහක් මතුව ඇත. ඒ විද්‍යාලයේ අපොස උසස්පෙල විද්‍යා හා ගණිත අතිරේක අංශයක් නුගේගොඩ, උඩහමුල්ල ශ්‍රී විජයාරාම විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට කටයුතු කිරීම පිලිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඊට අනු කමිටුවක් පත් කිරීමත් සමඟිනි.

දේවි බාලිකා විද්‍යාලය වසර 60 ක් පමණ අතීතයකට හිමිකම් කියයි. 1953 වසරේදී කාසල් වීදියේදි කාන්තා විදුහල නමින් දේශබන්දු විමලා ද සිල්වා මහත්මිය විසින් ආරම්භ කළ මෙම විද්‍යාලය අද වන විට ලංකාවේ ජනප්‍රිය පාසල් සමූහය අතරින් එකකි.

මේ වන විට ප්‍රකට ව්‍යාපාරික DP Education පදනමේ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදනයක් පාසලට ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර එසේ ලබා දීමට නම් පාසලේ කොටසක් උඩහමුල්ලට රැගෙන යා යුතුය.

දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පවසන්නේ උඩහමුල්ල විජයාරාම විද්‍යාලයට අනිසි ලෙස පැමිණි ධම්මික පෙරේරා, දිලිත් ජයවීර සහ ප්‍රදේශයේ දේශපාලඥයෙකු වන මධුර විතානගේ එහි පසුපස කුඩා දොරටුවක ඉබි යතුරු කඩා විදුහල් පරිශ්‍රය නිරීක්ෂණය කළ බවත්, පසුව වරින් වර අධ්‍යාපන ලේකම්වරයා, දේවි බාලිකා විදුහල්පතිනිය ඇතුළු කිහිපදෙනෙක් එහි පැමිණි බවත් විදහලේ විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්ඩලය පැවසු බවත්ය.

වැසී යන පාසලක් යැයි කියමින් තම පාසල පවරාගැනීමට දරනා උත්සාහයට විජයාරාම විදුහලේ ගුරු, සිසු, දෙමාපිය සියල්ලෝම පහුගිය දිනෙක උද්ඝෝෂණය කළහ. ඔවුන්  ආදි ශිෂ්‍ය සංගමයේ සහ පාසල් සංවර්ධන සමිතියේ සභාපතිත්වය දරන දේවි බාලිකා විදුහල්පතිනිය අදාල සාමාජිකයින් පිරිස හීලෑ කරගෙන සිදු කළ අකටයුත්තට සමස්ත දේවි බාලිකාවන්ට ම ශාප කරන බවද දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පවසයි.

දේවි බාලිකා විද්‍යාලය, බොරැල්ල දැනට පවතින ස්ථානයේ ම ස්ථාපනය විය යුතු බවත්, ඊට අනුශාඛා අනවශ්‍ය බවත්, විද්‍යාලය කිසි ලෙසකින් දෙකඩ නොවිය යුතු බවත්, පාසල සංවර්ධනය කරන්නේනම් ධම්මික පෙරේරා මහතා ලබාදීමට අපේක්ෂිත මුදලින් පාසල් පරිශ්‍රය තුළ ම එය සංවර්ධනය කරන ලෙසටත් දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය කියා සිටියි.

මේ පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම උදෙසා ඉකුත් දා එම සංවිධානය විසින් නුගේගොඩ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.  එහිදී  දේවි බාලිකාව සුරැකීමේ සංවිධානයේ සභාපතිනී, ආචාර්ය නීතිඥ දයානි පනාගොඩ මහත්මිය මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ අධ්‍යාපනය යනු සියල්ලන්ට සම සේ ලැබිය යුතු වරප්‍රසාදයක් වන බවත් සංවර්ධනය කිරීම පිණිස දේවි බාලිකා විද්‍යාලය තෝරා ගැනීම හා එමගින් යම් කිසි ආකාරයකට වෙනත් පාසලකට පහසුකම් සැලසීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කිනම් පදනමක් මත අප පාසල ඒ සඳහා තෝරාගත්තේ ද යන්නට පිළිතුරු තමන් අපේක්ෂා කරන බවය.

ඊට අමතර පාසලට විශාල වරප්‍රසාදයක් ලැබීමට අවස්ථාව ලැබී ඇති මොහොතක එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට තම සංවිධානය කටයුතු කරන බවට ඇතැම් පිරිස් චෝදනා කරන නමුත් එය සත්‍යය නොවන බව ඇය පෙන්වා දේ.

මෙහිදී අදහස් දැක් වූ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනවේදිනී ජයන්ති පින්නගොඩ මහත්මිය පවසා සිටියේ  දේවි බාලිකා විදුහලේ ගණිත හා විද්‍යා අංශ වැඩි දියුණු කිරීම සඳහා වෙනත් පාසල් භූමියකට දේවි බාලිකාව ගෙන යන බව නිසි පරිදි දැනගන්නට ලැබුනේ නැති බවත් දැනගත්තේ අපේ ආදි ශිෂ්‍යාවන් මගින් සහ වෙනත් මාර්ගවලින් බවය. මෙය මුලින් ම පාසලෙන්  මේ සඳහා සාකච්ඡාවකට කැඳවූවානම් වඩා සුදුසු  නමුත් එහෙම දෙයක් සිදු නොවු බවය.

මේ පාසල තවත් තැනකට රැගෙන ගොස් දියුණු කරන්නට අදහසක් තියෙනවා ඒක ඒ තරම් සුබදායක දෙයක් නොවන බවත් අය පවසයි.

මෙහිදි අදහස් දැක් වු විද්‍යාලයේ විදුහල්පතිනියක ලෙස කටයුතු කළ කළ්‍යාණි ලක්ෂ්මන් මහත්මිය මෙසේ පැවසුවාය.

දේවි බාලිකා විද්‍යාලයේ 1995 වර්ෂයේ ඉදලා 2004 වර්ෂයේ අවසානය දක්වා විදුහල්පතිනිය ලෙස මා කටයුතු කළා.

ඇත්ත වශයෙන් ම  පවතින තත්ත්වය මේ දක්වා වර්ධනය වුනේ ඇයි කියන කාරණය හිටපු විදුහල්පතිනියන් වශයෙන් අපිවත් දන්නේ නෑ. දැනගන්නට ලැබෙන විදිහට දේවි බාලිකා විද්‍යාලයේ විද්‍යා හා ගණිත අංශ දෙක ඒ කියන්නේ විද්‍යා අංශය දියුණු කිරීමක් අවශ්‍යයි කියලා විදුහල්පතිනිය තේරුම් අරන් තියෙනවා. අපිත් ඒ කාලේ තේරුම් ගත්තා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කළොත් හුඟාක් හොඳයි කියලා. නමුත් අපි සීමා කරගත්තා සුදුසුකම් ලබන අයගෙන් ඉහළ ම ශිෂ්‍යාවන් තෝරාගන්න. දැන් යෝජනා වෙන විදියට සාමාන්‍යපෙළ සමත් වුණ ශිෂ්‍යාවන් කොටසක් උඩහමුල්ල පිහිටි විජයාරාම විද්‍යාලයරැට ගෙන ගොස් එහි පන්ති පවත්වා ඒ අයට විද්‍යා ගණිත අධ්‍යාපනයක් දීමට යෝජනා කරන බවක් තමයි විදුහල්පතිනිය කියා තිබෙන්නේ. මම නම් මේ පිළිබඳ විදුහල්පතිනිය එක්ක කතා කළේ නෑ. වෙනත් මාර්ගවලින් ලැබුනු ආරංචි අනුව යෝජනා කරලා තියෙන්නේ එහෙම පන්ති පවත්වන්න. එතකොට මේ වසරේ සාමාන්‍යපෙල ප්‍රතිඵල පිටවුනා ම ඉන් දරුවන් පිරිසක් එතනට ගෙනිහිල්ලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒකේ නොයෙකුත් දේ කියනවා .එක ම විදුහල්පතිනියක් යටතේ පාලනය කරන බව තමා කියලා තියෙන්නේ.

අධ්‍යාපන ඇමැතිතුමාත් සඳහන් කරනවා දේවි බාලිකාව branded school එකක් කියලා. ඉතින් ඒක branded school එකක් වුනේ මම හිතන්නේ ආරම්භක විදුහල්පතිනියගේ කාලේ ඉඳලා ම ඒක branded school එකක් වුණ නිසා.

බාහිර පාර්ශ්වයෙන් ලැබෙන මේ විශාල ආධාරය ගැන සතුටු වෙනවා.  විදුහල්පතිනියගේ අරමුණත් ඉතාමත් හොඳයි කියලා අගය කරනවා. නමුත් මේ පිළිබඳ පාසලට සම්බන්ධ  stakeholdersලා කවුරුත් දැනුවත් නොකිරීම  තමයි අපිට ගැටළුවක් වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් සමග සාකච්ඡා නොකරයි මේ හැමදේම වෙන්නෙ.  අපි හැම වෙලේම වැඩ කරනකොට දේවි සංස්කෘතියට අනුව අපි ගරු කරන හිටපු විදුහල්පතිනියන්ගෙන් “මොනවාද අපි කරන්නට යන්නේ, මෙහෙම අලුත් දෙයක් කරන්නට යනවා, ඒ ගැන අදහස් මොනවාද ? “ඒ වාගේ සාකච්ඡා කිරීමක් කරනවා. නමුත් මේ සිද්ධියේ දී අපි එක්ක කතා කිරීමක් තබා ආදි ශිෂ්‍යාවන් පවා මේ පිළිබඳ දන්නේ නැහැ. සියල්ලම නීත්‍යනුකූල, නීතිගරුක පදනමින් අවසන් වූවාට පසුව තමා ඒ අයත් දැනගන්නේ.

ඉතින් මම යෝජනා කරන්නේ විද්‍යාලය දෙකට කඩා දෙපැත්තට ගෙන යන්නේ නැතුව මේ තියෙන පාසල් භූමියේ ම අලුතින් ගොඩනැගිලි හදන්න. මම හිතන්නේ අපේ කොළඹ තියෙන පිරිමි පාසල්වලත් තට්ටු 7ක විතර ගොඩනැගිලි හදලා තියෙනවා. ආදි ශිෂ්‍යාවන් කැමැත්තෙන් ඉන්නවා එවැනි දෙයක් කරනවානම්, ආධාර ලබාගෙන එවැනි දෙයක් කරලා ඉක්මනට සිසු සංඛ්‍යාව වැඩි කිරීමේ පහසුකම් සලස්වාගනී කියලා.

මෙහිදී අදහස් දැක් වූ  විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රීති උඩුගම මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

පවතින තත්ත්වය ගැන මට ගොඩක් කණගාටුයි. මම 2018 වර්ෂයේ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපතිනිය ලෙස කටයුතු කළා. ඒක නිසා මම හිතන්නේ හැම දෙනාම වගේ මාව දන්නවා. ඒත් මම ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරන කෙනෙක් විදිහට නෙවෙයි අද ඇවිත් ඉන්නේ.

මම හැම තිස්සෙම අලුත් දෙයක් කරන, අලුත් දෙයක් කරද්දි අලුත් විදියට හිතන්න කැමති කෙනෙක්. නමුත් මම දන්නවා අලුත් දෙයක් කරනකොට බාධා එනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. මේ ව්‍යාපෘතිය අගය කරනවා මම ගුරුවරියක් හැටියට. නමුත් එක වර ම පාසලක සන්නාමය දියාරු කිරීම තුළින් ඒ පාසලේ ම තව ශාඛාවක් පිහිටුවීමට සදාචාරාත්මක අයිතියක් නෑ එක පුද්ගලයෙකුට විතරක් කිසිම සාකච්ඡාවකින් තොරව. මොකද පාසලක් කියන්නේ විදුහල්පතිනිය ම පමණක් නොවේ. වත්මන් විදුහල්පතිනියට මම හුඟාක් ගරු කරනවා. ඇය සමග මම මේ ගැන කතා කරලාත් තියෙනවා. ඇය පසුගිය කාලය පුරා දැවැන්ත සේවයක් පාසලට ඉටු කළා.

නමුත් මේ අවස්ථාවේ මෙච්චර දැවැන්ත පිම්මක් ඉදිරියට යනවිට මෙතන හිටපු විදුහල්පතිනියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යාවන් හැම අංශයකින් ම ඉහළට ගිය වෘත්තිකයන් විදියට අප කිහිප දෙනෙක් සමග මේ ගැන සාකච්ඡා කරලා ඉතාමත් විනිවිදභාවයෙන් මේ ව්‍යාපෘතිය  ආරම්භ කරන්න සැලැස්මක් තිබුණානම් කෙටි කාලයක් ඇතුළත වුණත් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා.

මට, මගේ මිතුරියන් රැසකට තියෙන ගැටළුව මේ භූමිය තුළ ම මෙම මුදල් ලබාගෙන ගොඩනැගිල්ලක් ඉදි කරන්න බැරි ඇයි කියන එකයි . මම හිතන්නේ කාටවත් ම කියන්න බෑ පාසලේ සංස්කෘතියෙන් වැඩක් නෑ කියලා. පාසලේ සංස්කෘතියෙන් තමා පාසලෙන් බැහැරට යන දරුවාගේ ගුණාත්මකභාවය පෙන්නුම් කරන්නේ. ඒ  නිසා එක භුමියකයි, තව භුමියකයි, එක ම විදුහල්පතිනියක් යටතේ මේක කරන්න අවශ්‍ය නෑ. ඇත්තටම අත්‍යවශ්‍ය නෑ.

දේවි බාලිකා ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාඛා විදිහට අමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු හැම රටක ම අපේ සොහොයුරියො සන්ධානගත වෙලා ඉන්නවා. ඒ හැමෝගෙම සහයෝගයෙන් අපට පුළුවන් විද්‍යාලය දියුණු කරන්න. අපිටත් ශක්තියක් තියෙනවා මේ දේ කරන්න. ඉතින් ඒ දේ කරන්න එක්කො අපට අවසර දෙන්න. එහෙම නැත්නම් මේක ගෙනියන්න එපා! එච්චරයි!

මගේ බැගැපත් ඉල්ලීම මේ පාසල දෙකට කඩන්න එපා.! මේ ගුණාත්මකබව, අපේ සන්නාමය මෙතනම තියාගෙන අපි තවත් අවශ්‍යනම් ගැහැණු දරුවන් 100  ක් හෝ 200 ක් හෝ පාසලට ගනිමු. එදාත් මම විදුහල්පතිනියට මේ යෝජනාව ඉදිරිපත් කළා. මම බොහෝම පොඩි කෙනෙක් වෙන්න පුළුවන් මෙතනදි, ඒ වුනාට අධ්‍යාපන අමාත්‍යාංශයටත් හොඳ නියමු ව්‍යාපෘතියක් අපි හැමෝම එකතු කරගෙන ලස්සනට කරන්න තිබුණා. කඩිමුඩියේ කරන එක අපට තවත් ගැටළුවක්. අනිත් එක අපට surprises  අවශ්‍ය නැහැ.

-ශානි-

Social Sharing
නවතම