වසංගතය හේතුවෙන් නඩු පමාව වැලැක්වීමට නුගේගොඩ උසාවියෙන් පියවර!

රටේ වත්මන් කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය වන තුරු අධිකරණ  කටයුතු  Skype තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ තීරණය කර තිබේ.

අධිකරණයේ අණ පරිදි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් මැයි මස 4 අඟහරුවාදා  දින ඒ බව නිවේදනය කර තිබේ.

එහි දැක්වෙන පරිදි දැනට රක්ෂණ භාරයේ සිටින සැකකරුවන්ගේ රක්ෂණ දීර්ඝ කිරීම සදහා වන නඩු Skype මගින් කැදවන බැවින්, එවැනි යම් නඩුවකට අදාළව ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට යම් නීතිඥවරයකු අදහස් කරන්නේ නම් එම ඇප ඉල්ලීමේ කාර්ය සදහා පමණක්  Skype හරහා අදාළ නීතිඥවරයා හට සම්බන්ධ විය හැක.

ඒ සදහා සෑම දිනයකම පෙ.ව 10.00 ට පෙර එදින රක්ෂණ දීර්ඝ කිරීම සදහා නියමිත නඩුවලින් ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමට අදහස් කරන නඩු අංකය, ඉල්ලීම ඉදිරිපත් කරන නීතිඥවරයාගේ නම, සම්බන්ධ කළ යුතු Skype ID ආදී තොරතුරු සදහන් කර අධිකරණයේ Skype ID  වෙත කෙටි පණිවිඩයක් යොමු කළ යුතුය.

එවිට අධිකරණයට අයත් Skype ID හරහා අදාළ නඩුවට ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ විය හැකි වේලාව දන්වනු ලැබේ.

ඉන් අනතුරුව අදාළ නඩුව කැඳවන අවස්ථාවේ නීතිඥවරයා විසින් ලබා දී ඇති Skype ID  හරහා අදාළ නීතිඥවරයා සම්බන්ධ කිරීමට අවස්ථාව සලසනු ඇති බව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් දැනුම් දෙයි.

එසේම එදිනෙදා සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන විනිසුරුතුමා  වෙත ඉදිරිපත් කරන නඩු කටයුතු වලදී සැකකරුවන්ට පුද්ගලිකව පරීක්ෂා කිරීමේ නීතිමය අවශ්‍යතාවය සදහා පමණක් විනිසුරුතුමා විසින් සැකකරුවන් පරීක්ෂා කරනු ලබන අතර, නඩුවට අදාළ පැමිණිල්ලේ සහ විත්තියේ ඉල්ලීම් Skype හරහා පමණක් සළකා බැලීමට පියවර ගෙන ඇත.

එසේ සැකකරුවන් ඉදිරිපත් කරන නඩු කටයුත්තක් සදහා යම් නීතිඥවරයෙකු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ නම්, අදාළ සැකකරුගේ නම හා සැකකරු ඉදිරිපත් කරන පොලිස් ස්ථානය පිළිබදව විස්තර ඉහත සදහන් කළ නීතිඥවරයාගේ නම, සම්බන්ධ වන Skype ID සමග ඉදිරිපත් කළ යුතුය.

එසේ විස්තර ඉදිරිපත් කළ අවස්ථාවක නඩුව කැදවන අවස්ථාවේ අදාළ පොලීසිය හා නීතිඥවරයා Skype හරහා සම්බන්ධ කරනු ලැබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් නිකුත් කළ දැන්වීමේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ Skype හරහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම අධිකරණ කටයුත්තක් බැවින්, අදාළ ඉල්ලීම් ඉදිරිපත් කරන නීතිඥවරුන් අධිකරණය සදහා නියමිත ඇදුමෙන් සැරසී සිටිය යුතු බවයි.

එසේ නොවන අවස්ථාවක Skype හරහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවසර නොලැබෙන බව එහි වැඩි දුරටත් සඳහන්ය.

Social Sharing
නවතම