මාර්ග ආරක්ෂාව පිළිබදව “ජාතික සතියක්”

ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලින් සිදුවන මරණ ප්‍රමාණය ඉහල යාමත් සමග මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

රජය පවසන පරිදි පසුගිය වසරේ මෙරටින් මාරක රිය අනතුරු 2023 ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 2114 දෙනෙකු මිය ගොස් තිබේ.

වර්තමානයේ දිනකට රිය අනතුරුවලින් පුද්ගලයන් 8-10 අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන අතර, ඔවුන්ගෙන් බහුතර සංඛ්‍යාවක් පිරිමි වේ.

ඒ හේතුවෙන් ඔවුන්ගෙන් යැපෙන්නන් ඉතා අසරණ තත්වයට පත් වන අතර වසරින් වසර එම සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්න්ම් කරන බව රජය පවසයි.

පසුගිය වසරේ වාර්තා වූ මාරක රිය අනතුරු 2023 න් 963 ක් යතුරුපැදි හා සම්බන්ධ අනතුරු වන අතර ඒ හේතුවෙන් 987 දෙනෙකු මිය ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අප්‍රේල් 3 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ  දැනුම් දීමේ නිවේදනයේ දැක්වෙන පරිදි ත්‍රීරෝද හා ලොරි රථ අනතුරු හේතුවෙන් ද වාර්ෂිකව මරණ 500 ට ආසන්න සංඛ්‍යාවක් සිදු වන බව වාර්තා වී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන, රිය අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් මස 21 දින සිට මාර්ග ආරක්ෂණ ජාතික සතියක් ක්‍රියාත්මක කිරීමටත්, රිය අනතුරු සිදු වීම අවම කිරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් සිසුන් , රියදුරන් හා මහජනතාව දැනුම්වත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව අවධානය යොමු කර තිබේ.

ඒ අනුව 2021 වර්ෂයේ  නොවැම්බර් මස 21 වන ඉරු දින සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමටත්, ඉදිරියේදී වාර්ෂිකව නොවැම්බර් මාසයේදී එවැනි සතියක් පැවැත්වීමටත් ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Social Sharing
නවතම