බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට  ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව, පුත්තලම, කොළඹ ආදී ප්‍රදේශ වල විරෝධතා රැසක්ද පැවැත්විණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඒ් සිය සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. එහිදී ඇය විසින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම් මුලික වු බවය.

මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය විසින් දැඩි විවේචනාත්මක ලිපියක්  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්ගේ  බිරිඳට යවා ඇත.  එහී සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර නොමැති කරුණු සඳහන්ව තිබෙනවා යැයි  ලිපියේ සඳහන් කරමින්  පාස්කු ප්‍රහාරකයන්ට පහසුකම් සැපයීම පිළිබඳව සැක පිට සිටින රිෂාඩ් බදුර්දීන් නිදහස් කර ගැනීම සඳහා දේශපාලන අරගලයක් කිරීමට සුදානම් වනවානම්, අවම වශයෙන් ලිපි ලියන්නා හෝ පාස්කු වාර්තාව කියවිය යුතුව ඇති බවය.

කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක සඳහන් කර නොමැති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම් පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බවත් පාස්කු කොමිසමේ  අවසන් වාර්තාවේ නොමැති කරුණක් තිබෙනවා යැයි සඳහන්  කිරීම කොමිෂන් සභාවට සිදුකල අපහාසයක් බවද බොදු බලසේනා සංවිධානය කියා ඇත.

1950 දශකයේ සිටීම මුස්ලිම් සමාජයේ විවිධ පුද්ගලයන් විසින් සිදුකල අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බවත් සැමියාගේ සගයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් නියෝජනය කරන තබ්ලිග් ජමාත්, ඉහ්වාන් මුස්ලිම්, ජමාතේ ඉස්ලාම් සහ තවුහිඩ් කල්ලි මෙරට මුදා හැර ඇති අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාවේ කරුණු ගණනාවක් ඇති අතර එම සංවිධාන විසින් මරාගෙන මැරෙන ක්‍රියාව සාධාරණිකරණය කර සිදු කල ප්‍රකාශන, ඔවුන් විසින් සිදුකර ඇති ප්‍රහාර ඇතුළු කරුණු අයේෂා රිෂාඩ්ට මග හැරීම පුදුම සහගත බවද ලිපියේ සඳහන් කර ඇත.

අයේෂා රිෂාඩ් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් සහරාන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ දියත් කිරීමට පාදකවුණු හේතු 10 න් 8ක් ඔබ පිළිගන්නා බව පවසමින්  සහරාන් විසින් පටිගත කර තිබූ අවසාන ප්‍රකාශයෙ සඳහන් කරුණු දහය අතුරින් පදනමක් නොමැතිව කරුණු දෙකක් හිතා මතා අතහැර දැමීමට කටයුතු කර ඇතැයිද චෝදනා කර ඇත.

එසේම මේ අවස්ථාවේ ඇය කළ යුත්තේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්,  ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ඔවුන්ට ආධාර  අනුබල ලබා දෙන්නන් කොටු කර ගැනීමට ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දීම බවත්  නොඑසේනම් ඇයගේ දරුවන්ද යම් දිනක ආගමේ නාමයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්වීමට ඉඩ කඩ ඇති බවය.

 

Bodu Bala Sena rishad bathiudeen wife President Gotabaya

Bodu Bala Sena rishad bathiudeen wife President Gotabaya

Bodu Bala Sena rishad bathiudeen wife President Gotabaya

-ශානි-

Social Sharing
නවතම