ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා වෙත ස්තූතිය පළ කර ඇත.

චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හිගේ නිල ශ්‍රී ලංකා   සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ  (28) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

එහිදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස ජෙනරල් ෆෙන්ග්හිගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක නිරතවිය.

කොළඹ චීන තානාපති අතිගරු ක්වි ෂෙන්හොන්ග් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරු ද අදාල පාර්ශව නියෝජනය කරමින් මේ සඳහා සහභාගී විය.

දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පැවති ද්විපාර්ශ්වික සබඳතා පිලිබඳ සිහිපත් කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ බුද්ධාගම, වෙළඳාම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ගෝලීය සම්බන්ධතාවය ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එතිහාසික වශයෙන් චීනය ශ්‍රී ලංකාවේ සගයෙකු වූ බවයි.

දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජෙනරල් ෆෙන්ග්හි පවසන ලදී.

ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් හා චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ශ්‍රී ලංකාවේ සභාපති මෙන්ම ආරම්භක සාමාජික මේජර් ජෙනරල් විජිත රවිප්‍රියගේ (විශ්‍රාමික) ආරාධනයෙන් ජෙනරල් ෆෙන්ග්හි මහතා ශ්‍රී ලංකාවේ චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය දියත් කළේය.

ඉහළ පෙළේ චීන ආරක්ෂක නියෝජිතයින්ගේ මෙම නිල සංචාරයේදී දෙරට අතර හමුදාමය සහයෝගිතා පිළිවෙත (Military Assistance Protocol) නිල වශයෙන් අත්සන් කිරීමද සිදුවිය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ චීන නියෝජිත ප්‍රධානී ජෙනරල් ෆෙන්ග්හි අතර සංකේතාත්මකව සමරු තිලිණ හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

-ශානි-

Social Sharing
නවතම