කොවිඩ් වලට අවසන් විසඳුම එන්නත්කරණයද?

අප දැන් සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි අවස්ථාවේය. මේ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26)  දිනයේදී වාර්තා විය.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997 ක් ලෙසිනි. මිට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 976 දෙනෙකු ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදා වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.

ඒ අනුව ඊයේ දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,271ක් වන අතර ඉන් 94,577 දෙනෙක් සුවය ලබා ඇත. දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,050 ක් වන අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 647කි.

මේ කොවිඩ් තුන්වැනි රැල්ල ලෙස පැමිණ ඇති ප්‍රභේදය මෙතෙක් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නොමැති අතර එය හඳුනා ගැනීමට පර්යේෂණ සිදු කෙරෙන්නේ අද (27) සිටය.

පෙර පැමිණි කොවිඩ් ප්‍රභේද වලට වඩා මෙම නව ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන හෙයින් අද (27) සිට රාජ්‍ය සේවක කාර්ය මණ්ඩල කොටස් වශයෙන් සේවයට කැඳවීමටද රජය තීරණය කර ඇත.

මින් පෙරද පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබිණි. වසංගත තත්ත්වය අඩු වීමෙන් පසු යළි මාර්තු මස 08 දා සිට රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට ගෙන්වා ගනු ලැබුණි.

නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් කැඳවීම  අද (27 ) දින සිට සීමා කිරීමට සිදු රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ අතර රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම උත්සව ඉදිරි සති දෙකක කාලයක් තුල අත්හිටුවීමට රජය විසින් පියවර ගෙන ඇත. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත.

එසේම බස්නාහිර හා වයඹ පාසල් මෙම මස අවසන් වන තුරු නිවාඩු දීමටද ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගෙන තිබුණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බවය. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවත් අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ඔහු පවසා සිටියි.

ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

-ශානි-

Social Sharing
නවතම