මැයි දිනය ගැන තීන්දු ගත යුත්තේ “කම්කරුවාන් මිස ආණ්ඩුව නොවේ”

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසන්නේ වැඩකරන ජනයාගේ මැයි දින සැමරුම් කොවිඩ් කමිටුව උපයෝගී කරගෙන නතර කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවයි.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් නොපැවැත්වීමට කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇති බව පසුගිය 20 දින යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුනි.

සිය නිවේදනය මගින් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මෙම තීරණය ගනු ලැබුවේ කොවිඩ්  19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථාන ප‍්‍රධානී, යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා  හා දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 20 දින පැවති විශේෂ රැස්වීමකදී බවයි.

දේශපාලන හා හමුදා නායකයන් එක්වී එම තීරණය ගැනීමේදී වෘත්තීය සමිති නායකත්වයේ අදහස් විමසූ බවක් දැනගන්නට නැත.

මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හෝ ආණ්ඩුව විසින් නොව මෙරට වැඩකරන ජනතාව විසින් බව ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි.

මැයි පළමු  දින සමරනු ලබන  ජාත්‍යන්තර කම්කරු දිනය කම්කරුවා සතු වැඩකරන පන්තිය විසින් සමරන දිනයක් මිස දේශපාලන පක්ෂ විසින් සමරන දිනයක් නොවන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය කම්කරුවාගේ ප‍්‍රශ්න, කම්කරු අයිතීන් පිළිබඳ හඬනැගීමට වෙන් වූ දිනය වැඩකරන ජනතාවට අහිමි කිරීමට දේශපාලන පක්ෂවලට හෝ ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා යුද හමුදා වෙබ් අඩවිය අප්‍රේල් 20 දින වාර්තා කර තිබුනේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහ වෛද්‍ය විශේෂඥයන්ගේ පැහැදිලි කිරීම්වලින් පසු දේශපාලන පක්‍ෂවල සහ වෘත්තීය සමිතිවල නියෝජිතයින් ජනතාවගේ යහපත උදෙසා සැලසුම් කළ මැයි දින පෙළපාලි සහ රැස්වීම් මෙවර නොපැවැත්වීමට එකඟතාවය පළකළ බවයි.

එම විශේෂ රැස්වීමට සහභාගි වූ දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති නියෝජිතයන් ලෙස  ප්‍රවාහන අමාත්‍ය  ගාමිණි ලොකුගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  එස්. එම්. මරික්කාර් මොහොමඩ් මුසම්මිල් ගේ නම් යුද හමුදා වෙබ් අඩවිය සදහන් කර තිබුනද වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති වල හෝ  එහි නියෝජිතයන්ගේ  නම් හෝ  එහි සඳහන් කර නැත.

කොවිඩ් වසංගත තත්වය තුළ  සිංහල, දෙමළ අලූත් අවුරුදු උත්සවය සැමරූ අතර, එම උත්සව සමයේ නිරෝධායන පිළිවෙත් ක්‍රියාත්මක  කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව සිහිපත් කරන ලංකා ගුරු සංගමය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුව විසින් ගම සමග පිළිසඳර වැනි ජනතාව ඒකරාශී වන විවිධ වැඩසටහන් ද කිසිඳු නිරෝධායන පිළිවෙතකින් තොරව පැවැත්වීම පසුගිය කාලය පුරාම සිදු කළ බවයි.

හදිසියේ ම යළි කොවිඩ්  භීතියක් ඇති කරමින් මැයි දිනය නොපැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කළ බව ප‍්‍රකාශ කරන්නේ ආණ්ඩුව තුළ මේ වන විට පැන නගිමින් ඇති අර්බුදකාරී තත්වය වසාගැනීමටත්, විවිධ ක්ෂේත‍්‍රවල පැන නගින ජනතාවගේ විරෝධතා වැලැක්වීමට බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එම  තත්වය තුළ වැඩකරන ජනතාවට හිමි මැයි දින සැමරුම් අවලංගු කිරීමට ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණයට ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිරෝධායන පිළිවෙත් අනුව මැයි 1 දින බැංකු, තැපැල්, වරාය, ගුරු-විදුහල්පති, සෞඛ්‍ය, රක්ෂණ, ටෙලිකොම් ආදී ක්ෂේත‍්‍රවල ස්වාධීන වෘත්තීය සමිති විසින් ඒකාබද්ධව පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින්  වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ආණ්ඩුවේ තහනම නොතකමින් මෙවර මැයි දින සැමරුම පවත්වන බව  වාමාංශික පක්ෂ සහ වෘත්තිය සමිති කිහිපයක් මීට පෙර නිවේදනය කර තිබුනි.

ඉදිරි සති තුන අවදානම්

එළැඹෙන සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති හා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද මාධ්‍ය වෙත පවසා තිබුනි.

ඔහු අවධාරණය කර තිබුනේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුනි.

කෙසේ වෙතත්, කිසිඳු බාධාවකින් හෝ මුව ආවරණ පැළඳිමකින් හෝ තොරව සිරිපා කරුණාකරන මහ පිරිස් දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැක ගන්නට ලැබුණි.

විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද ජනතාවට දැනුම් දෙන යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ඉල්ලා තිබුනේ නිවසින් බැහැරට යෑමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය බවයි.

Social Sharing
නවතම