අද දෙමළ ඊළමක් නෑ, අද තියෙන්නේ චීන ඊළමක්!

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

අප්‍රේල් මාසේ වෙනකොට දෙවෙනි ඩෝස් එක දෙන්න ඕනී නමුත් දැන් ඒක මැයි මාසෙට ගිහිං තියෙනවා. මේ වෙනකොට රජය සහ සවුඛ්‍ය අමාත්‍යාංශය විශාල අර්බුදයක ඉන්නවා, මොකද අවශ්‍ය එන්නත් ප්‍රමානය ගෙනල්ලා නැහැ. ලංකාවේ ලක්ෂ 216ක් මිනිස්සු ඉන්නවා. මේකෙන් අවම වශයෙන් ලක්ෂ 130කට එන්නත් දෙන්න ඕනෑ. එතකොට එන්නත් ලක්ෂ 260ක් ලංකාවට ගේන්න ඕනී. මේ ලක්ෂ 260න් දැනට කීයක් ගෙනත් තිබෙනවාද? ලංකාවට ප්‍රධානයක් විදිහට ලැබුණා ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 5ක්, ඒක නිකං ලැබුණේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ලක්ෂ 40ක් මේ රටට දෙන්න පොරොන්දු වුණා. ඒකෙන් ලක්ෂ 16ක් මාර්තු මාසේ වෙනකොට දෙනවා කියලා ඔවුන් කිව්වා. ඒ ලක්ෂ 16යෙන් මාර්තු මාසයේදී මේ රජයට ලැබුණේ 2 64 000යි. ඒවගේම රජය කියන විදිහට ඉන්දියාවෙන් තව ලක්ෂ 5ක් එන්නත් අරගෙන තියෙනවා. එතකොට මේ ඔක්කෝම ගත්තත් ලංකාවට තියෙන්නේ ලක්ෂ 12ක විතර එන්නත් තොගයක්. එතකොට ලක්ෂ 260ක් අවශ්‍ය එකෙන් ලංකාවට දැන් ලැබිලා තියෙන්නේ ලක්ෂ 12යි.

ලක්ෂ 260ක් එන්නත් අවශ්‍ය රටකට ලැබිලා තියෙන්නේ ලක්ෂ 12යි

මම 2020 කොවිඩ් විවාදය වෙලාවේ තමයි ඇමතිතුමියට කිව්වේ කොවිඩ් සඳහා එන්නත් කිහිපයක් දැන් රටවල්වල නිශ්පාදනය වෙමින් තිබෙනවා තව මාස දෙක තුනක් යනකොට ඒවා වෙළඳපොළට එනවා [මතක තියාගන්න ඒ වෙනකොටත් මිලියන 322ක ජනග්‍රහනයක් ඉන්න ඇමරිකාව එන්නත් බිලියනයක්  ඒවෙනකොටත් අනවුම් කරලා ඉවරයි. කැනඩාව තමන්ගේ ජනගහනය එක්කෙනාට 10 ගානේ ඇනවුම් කරලා ඉවරයි. එන්ගලන්තය බිලියනයක් ඇනවුම් කරලා ඉවරයි. ඉන්දියාව බිලියන 1.8ක් ඇනවුම් කරලා ඉවරයි], අනෙකුත් රටවලුත් ඇනවුම් කරගෙන යනවා ඒනිසා මේ පිළිබඳව වහාම ක්‍රියාත්මකවෙලා දැන්මම ඇනවුම් කරන්න, නැත්තන් 2021 එන්නත් නිකුත් කළත් අපිට 2022 මැද වෙනකම් එන්නත් ලැබෙන එකක් නැහැ කියලා. ඒ වෙලාවේ ඇමතිතුමිය ඔලුව වැනුවා. මම දන්නේ නෑ එතුමිය මොන ක්‍රියාමාර්ගය ගත්තද කියලා. ඊට පස්සේ මම නොවැම්බර් මාසයේදී සෞඛ්‍ය වැය ශීර්ෂයේදී නැවතත් මේ ඉල්ලීමම කළා. නිකං ලැබෙන එන්නත් දිහා බලාගෙන හිටියා ඇනවුම් කළේ නැහැ. දැන් මොක්ද වෙලා තියෙන්නේ?

දැන් ඇනවුම් කරන්න ගියාම මොකද වෙන්නේ, දැන් ලෝකය පුරාම එන්නත් සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා, ඒ නිසා දැන් එන්නත් නැහැ. නිශ්පාදනය කරන ප්‍රමානය ඉල්ලුමට සරිලන්නේ නැහැ. දැන් විශේඥ කමිටුවල මතයටත් පරිබාහිරව අපේ ජනපතිතුමා චීන ජනපතිතුමා එක්ක කතා කළා කියලා, දැන් චීන එන්නත [සිනෝෆාම්] ගේන්න හදනවා. ඒක ගෙනාවා ලංකාවට. ඒ ගෙනාපු වෙලාවේ මමම ප්‍රවුර්ති සාකච්ඡාවක් තියලා කිව්වා ඇයි විශේෂඥ කමිටුව මේ එන්නත හොඳ නෑ කියන්නේ කියලා. ඒ ඔවුන්ගේ විශේෂඥ වාර්තාවත් එක්ක. ඒ වාර්තා සමග මාධ්‍යයේ විශාල කතාබහක් ඇතිවුණා. ඒ සමග රජය ඒ එන්නත අපේ ජනතාවට දුන්නේ නෑ. ඒ වෙනකොට අපේ ඖෂධ අධිකාරියත් එන්නතට අනුමැතිය දීලා තිබුණේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියත් එන්නතට තිබුණේ නැහැ. ඒ අනුමැතිය තවමත් නැහැ. නමුත් මේකට කරපු බලපෑම නිසා අවශානයේදී මොකද වුණේ ? ඖෂධ අධිකාරියේ සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යැව්වා. පහළ මට්ටමේ කට්ටියක් දැන් මේ තැන්වලට පත්කරලා තිබෙනවා. මේක තමයි අද රටේ තත්ත්වය. තවමත් රටට එන්නත් නැහැ. දැන් මේක විශාල ප්‍රශ්නයක් එන්නත් ලබා ගත්ත කට්ටියට.

මතක තියාගන්න ලංකාව තමයි එන්නත්කරණයෙන් ලෝකයේ පළවෙනි රට. ලෝකයේ කීර්තිනාමයක් තියෙන පළවෙනි රට. අපි 99.9%ක් එන්නත් කරණයේ ඉන්නකොට ඇමරිකාව ඉන්නේ 99.2%කට විතර. එතකොට මේ තරම් කීර්තිමත් ඉතිහාසයක් තිබුණ රට අද වැටිලා තිබෙන තැන බලන්න. ලක්ෂ 260ක් එන්නත් අවශ්‍ය රටකට තවම ලැබිලා තියෙන්නේ එන්නත් ලක්ෂ 12යි. එතකොට දැන් මේ කීර්තිමත් ඉතිහාසය වෙනස් වෙලා 99.9%කට තිබුණ එන්නත්කරණය 10%කට 15%කට වැටිලා තියෙනවා. මේක ඛේදනීය තත්ත්වයක්. මේ තත්ත්වයත් එක්ක ලෝක සවුඛ්‍ය සංවිධානයේ අපි ගැන තිබෙන පිළිගැනීම අහෝසිවෙලා යනවා.

මැයි තහනම

අද රජය මැයි දිනය තහනම් කරලා තිබෙනවා. අපේ පක්ෂය සමග තිබුණ සාකච්ඡාවෙදී අපි මේකට එකඟවුණේ නැහැ. රජයේ නියෝජිතයෝ කිව්වේ දවස් දෙකකින් දන්වන්නම් කියලා, නමුත් එළියට ආපු ගමන් හමුදාපති හමුදා ක්‍රමයටම කියලා තියෙනවා ඔක්කොම එකඟ වුණා කියලා. එයා එකඟනම් ඔක්කොම එකඟයි කියලා තමයි එයා හිතන්නේ. ඒක තමයි හමුදාවේ ක්‍රමය. මැයි දිනය නොපැවැත්වීම ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද කොවිඩ් වසංගතය නැවත උත්සන්න වෙමින් තිබෙනවා. දකුණු අප්‍රිකාවේ පැතිරුණ වෛරස් ප්‍රබේදය මෙහෙට ඇවිත් කියලා සැකයක් තිබෙනවා. එහෙම දෙයක් තියෙනවානම් ඒක ඉතාමත් බයානක තත්ත්වයක්. දැන් විශේඥ අදහස මත තමයි මැයි දිනය තහනම් කළේ කියලා තමයි රජය කියන්නේ. නමුත් අපිට පේනවා මේ තහනම හරහා ආණ්ඩුව විශාල ප්‍රශ්නයක් විසඳගත්තා. ඒක තමයි ශ්‍රීලනීපය වෙනම කණ්ඩායමක් විදිහට අනෙකුත් පක්ෂත් එකතුකරගෙන මැයි දිනය සමරන්නට තීරණය කිරීම. මේක වර්තමාන ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් වුණා, ආණ්ඩුවට ඒකාබද්ධ මැයි රැලියක්වත් තියාගන්න බැරි තත්ත්වයක් උදාවුණා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව මැයි දිනය තියන්න හැදුවට ජන සහභාගීත්වය පිළිබඳව එයාලා අතරම විශාල කුකුසක් ඇතිවුණා, මොකද ජනතාව එන්න ලෑස්ති නෑ. ඒ එක්කම ඔවුන්ට ඔවුන්ගේ බුද්ධි අංශවලින් වාර්තා කරලා තිබුණා අපගේ සමගි ජන බලවේගයේ මැයි රැලිය ඓතිහාසික මැයි රැලියක් වෙන්න නියමිතයි කියලා. ඇත්ත වශයෙන් මෙතෙක් කාලයකටත් කොවිඩ් වසංගතය රජයට ආශිර්වාදයක් වුණා, මේ රජයට තිබෙන මහජන විරෝධය වීදි බැසීම නැවතිලා තියෙන්නේ මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා, ඇත්තටම මැයි දිනයේදී තමන්ගේ නිරුවත පෙනෙන එකත් වැළක්වා ගන්න උදව් වුණේ කොවිඩ් වසංගතයම තමයි.

දෙදරීම් පටන් අරං

මේ වෙනකොට ආණ්ඩුවේ ඉරිතැලීම් පටන් අරගෙන තිබෙනවා.  විශේෂයෙන්ම මේ රජය බිහිකිරීමට විශාල කාර්‍ය්භාරයක් කළ, අපේ රජය තුළ දී මේ ජනාධිපතිවර‍යා ආරක්ෂා කරපු, මම අධිකරණ ඇමතිකමේ ඉන්නකම් ගෝඨාභයව අත් අඩංගුවට ගන්නට ඉඩ දෙන්නේ නෑ කියපු විජේදාස රාජපක්ෂම අද ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව කතා කරනවා. ගෝඨාභය රාජපක්ෂ පඹයෙක් ය කියන මට්ටමට අද ඇවිත් තිබෙනවා. එතුමා කියනවා ජනාධිපති පඹයෙක්, එතුමාම කියනවා බැසිල් රාජපක්ෂ කියන්නේ ටුවෙන්ටි ප්‍රශන්ට්, බැසිල් රාජපක්ෂ කියන්නේ පල් හොරෙක් කියලා. එතුමා පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් තියමින් මුලු රටටම ප්‍රකාශ කළා මේටික. මේ රජයට ඉස්සරහට යන්න බැහැ, මේ රජයට දැක්මක් නැහැ, අවුරුදු දෙකකින් මේ රජය කඩාගෙන වැටෙනවා, කියලා මහා ප්‍රකාශයක් ඔහු නිකුත් කළා. මේ ප්‍රකාශය නිකුත් කළාට පස්සේ මේකෙන් කැළඹුන ජනාධිපතිවරයා, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා උන්වහන්සේටත් දොස් කියලා, ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහත්තයාටත් දොස් කියලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයා තමන්ට කතාකරලා දොස් කියපු එක ගැන මාධ්‍යට කියන විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා ඔහුත් ජනාධිපති තමන්ට කතාකරපු භාෂාවෙන්ම කතා කළා කියලා. විජේදාස රාජපක්ෂ එක්ක අපිට ප්‍රශ්න රාශියක් තිබෙනවා, මම එක්ක තමයි ඔහු ගොඩක් ගැටුණේ, මගේ මන්ත්‍රී ධුරය අහෝසිකරන්න උසාවි ගියේ ඔහු, පහුගිය කාලේ ඇවන්ගාර්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා ආණ්ඩුව ඇතුලේ ඉන්නැද්දී පවා අපි එක්ක විශාල ගැටුම් ඔහුට තිබුණා, මේ සේරම තිබුණත් මම මේක කියන්න ඕනෑ, දැන් අපි දන්නවා මේ රටේ එක මිනිහෙක් හරි ඉන්නවා ජනාධිපතිට ඇගිල්ල දික්කරලා පඹයෙක් කියලා කියන්න. ආණ්ඩුව ඇතුලෙම මන්ත්‍රීවරයෙක් විදිහට ඉදිමින් තමන්ගේ ආණ්ඩුවේ ලොකුම වැඩකාරයා යැයි කියන බැසිල් රාජපක්ෂ පල් හොරෙක්, මිස්ටර් 20% කියලා කියන්න තරම් ඔහුට කොන්දක් තිබුණා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති කතාකරලා බැන්නාම ඒ බාසාවෙන්ම ජනාධිපතිට අමතන්න ඔහුට කොන්දක් තිබුණා, අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු රජය ඇතුලේ ඉදගෙනම රටට ලොකු පණිවිඩයක් දුන්නා. පිටකොන්දක් නැති මිනිස්සුන්ට පිටකොන්දක් දුන්නා. ඒ නිසා අතීතයේ මොන ප්‍රශ්න තිබුණත් විජේදස රාජපක්ෂ ගැන අපිට ගෞරවයක් තිබෙනවා.

රටවල් දෙකයි නීති දෙකයි

ඊළඟට දැන් එනවා වරාය නගරය, මේ අය තමයි හැමදාම බලය බෙදීමට විරුද්ධව කතා කළේ. පළාත් සභා ගේන්න දෙන්නේ නැහැ කියලා කියන්නෙත් මෙයාලා තමයි. මේ ගොල්ලෝ ෆෙඩරල් කියන නමටත් බයවුණ කට්ටිය. හැබැයි ඔන්න දැන් වරාය නගරයට ෆෙඩරල් වලටත් එහාට ගිහිං බලය දෙන්නයි හදන්නේ. මේ බලය කාටද මේ දෙන්නේ, මේ දෙන්නේ චීනයට. මේ පෝට්සිටී පනත මගින් මෙරටේ අනපනත් 21කක් අහෝසි කරනවා. ඒ එකක්වත් චීනයට බලපාන්නේ නැහැ. ඇත්තටම මේක වෙනමම ඊළමක් වෙනවා එදා යහපාලන රජයක් ආවේ නැත්තං. රාජපක්ෂලා මේ ඉඩම්වල තනිකර සින්නක්කර අයිතිය තමයි චීනයට දුන්නේ. ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒක බදු ක්‍රමයක් බවට හැරෙව්වේ අපේ යහපාලන ආණ්ඩුව. දැන් මේක බදු ක්‍රමයට ඔවුන්ට දීලා මේකේ මුලු මහත් පරිපාලනයම ඔවුන්ට දෙනවා. මේකේ පත් කරන්නේ එක කොමිසමක්, කවුද පත් කරන්නේ? තනි මතයට ජනාධිපති. ඒ පත් කිරීමේදී ඒ පත්වෙන පුද්ගලයින් ස්වදේශිකයො වෙන්න ඕනී නැහැ. ඕනී නම් චීන සමාගමේම අය පත් කරන්න පුලුවන්. ඒකේ අධ්‍යක්ෂ ජනරාල් ඕනෑ නම් විදේශිකයෙක් වෙන්න පුලුවන්. ඔවුන්ගේ පඩිනඩි ගෙවන්නේ කවුද? චීන සමාගම. එතකොට ජනාධිපති පත්කරනවා ඔවුන්ගේ පඩිනඩි චීනය ගෙවනවා. එතකොට ඔවුන් චීන සමාගම වෙනුවෙන් වැඩ කරන්නේ. මෙතන මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ තනිකරම වෙනම නීතියක්. ආවේ එක රටයි එක නීතියයි කියලා දැන් එක රටයි නීති දෙකයි ද? එහෙමත් නැත්තං රටවල් දෙකයි නීති දෙකයි ද අපි දන්නේ නෑ.

එදා දෙමළ ඊළමට විරුද්ධව තමයි කතා කළේ, අද දෙමළ ඊළමක් නෑ අද තියෙන්නේ චීන ඊළමක්. අපිත් එක්ක අවුරුදු 2000ක් එකට හිටිය මිනිස්සුන්ට ඊළමක් දෙන්න බෑ කියපු අය අද චීන සමාගමකට ඒ ඊළම දෙනවා. එතකොට කෝ අපේ දේශප්‍රේමය. කෝ ඊළාම් විරෝධී ගරුතර මහා සංඝරත්නය. අපේ රටේ මිනිහෙක් ගිහිං බඩුවක් ගත්තොත් බදු ගෙවලා එන්න ඕනී, විදේශිකයෙක් බඩුව ගත්තාම නිකං යන්න පුලුවන්, ගෙවන්න අවශ්‍ය නෑ. ලෝකයේ තියෙන ඕනෑම විදේශීය මුදල් ඒකකයකින් බඩු ගන්න පුලුවන් හැබැයි ලංකාවේ රුපියල්වලින් බෑ. එතකොට මොකද්ද මේක.

Social Sharing
නවතම විශේෂාංග