ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ

මහ වනයේ ගස් සිටුවීමට අවසර නොමැති නමුත් වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සිටියදීම ගස් කැපීම් සිදුවන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසති.

සිය පියා භූමිදානය කළ ස්ථානයේ පැළ කිහිපයක් සිටුවීමට ඉදිරිපත්වූ අවස්ථාවේ නීතිය ඊට හරස්වී අධිකරණය හමුවට පවා යාමට සිදුවුණු නමුත් අවසර නොමැතිව වනයේ ගස් කැපීම් නිරන්තරයෙන් සිදුවන බව මහනුවර පොල්ගොල්ලේදී ඊයේ (06)  පැවැති රුක් රෝපණය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ආදිවාසී නායකයා මේ බව සදහන් කළහ.

ආදිවාසීන් මහ වනය ආරක්ෂා කර ගැනීමට නිරන්තර උත්සය දරමින් සිටියත් ආයතන, අමාත්‍යංශ පවතිද්දී වන විනාශ සිදුවන විට මහත් ශෝකයක් ඇතිවන බව කී නායකයා තවදුරටත් මෙසේ ද සදහන් කළහ.

මම ඉදිරිපත්වුණේ පියා මිය ගිය ස්ථානයේ ගස් සිටුවීමට මිස ගස් කැපීමට නොවෙයි. නමුත් වනය අයිති තමන්ට යැයි කී වනාන්තර භාර මහත්වරු සිය අවසර නොමැතිව මෙහි ගස් සිටුවීමට නොහැකි යැයි ප්‍රකාශ කළා. මට අධිකරණය හමුවටත් යාමට සිදුවුණා.

වනය ආරක්ෂා කර ගැනීමට අතීතයේදී සංවිධාන, අමාත්‍යංශ තිබුණ් නැහැ. නමුත් වසර සිය දහස් ගණනක කාලය සිට පැවත එන අතීත මුතුන් මිත්තන් වනාන්තරය ආරක්ෂා කළා. වනාන්තරය නොමැතිව මිනිසාට පැවැත්මක් නැහැ කියලා ඔවුන් අවබෝධකර ගත්තා.

නමුත් අප දැන් ප්‍රවේශ වී සිටින්නේ මුදල් පසුපස හඹායන ක්‍රමය වෙනුවට සොබාදහමට ආදරය කරමින් සමස්ථ ලෝකයා රැක ගැනීමේ හැරවුම් ලක්ෂය හමුවේයි. ජාතිය, ආගම පරිසරය හා සොබාදහම පිළිබදව නොසිතමින් බොහෝ දෙනෙකු මුදල් පසුපස යාම හේතුවෙන් නුදුරේදීම සොබාදහම විසින් මිනිසාට දඩුවම් ලබාදේවී.

අතීතයේදී අපි හේන් කෙටුවත් කිසිම අවස්ථාවක මහා ගස් කැපුවේ නැහැ. අවුරුදු කාලයේදී වනයට යන අපි ළදු කෑලෑ තෝරාගන්නවා. එයින් ගස් අඩුම ප්‍රමාණයක් ඇති කොටසේ ළදු කැළැ එළී පෙහෙළී කරනවා. එයද ගලක් විසිකළ හැකි  සීමාව විතරයි අපි එළිකරන්නේ. එතනින් එහාට වැඩි දුරක් අප එළිකරන්නේ නැහැ. එමෙන්ම කන්දකට හූවක් හා දිය පහරකට හූවක් දුරින් මෙපිටට අප එළී කරන්නේ නැහැ. අපි වනාන්තරයට ආදරය කළා. එය නොමැතිව අපට ජීවත් විය නොහැකි බව අපි දන්නවා.

වසර සිය දහස් ගණනක සිට ජීවත්වන මානවයා වනාන්තරයට හානියක් කළේ නැහැ. වනය සමඟ ජීවත් වුණා. නමුත් අද තත්ත්වය වෙනස්.

මම කුඩා කාලයේ මහවැලි ගංගාව තිබුණේ පටුවටයි. නමුත් වැලි ගොඩ දැමීම නිසා මේ වන විට ගංගාව පළල් වෙලා. අද සොබා දහමට කරන හානිය වැඩියි. මේ නිසාම විටින් විට සොබාදහම අපට දඩුවම් දෙනවා. කුණු කදු කඩා වැටීම්, ගං වතුර, සුළි සුළං පමණක් නොව මුහුද ගොඩ ගැලීම් පවා සිදුවෙනවා. නමුත් මේ දක්වා ඊට විසදුම් දෙන්නේ නැහැ. විපතට පත්වූන්ට ආධාර ලබා දෙනවා මිස විපත් වැළැක්වීමට පියවර ගන්නේ නැතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් වැඩිදුරටත් සඳහන් කළහ.

කටුගස්තොට ඝටිකාරාමාධිපති පූජ්‍ය ඔකදවෙල නාරද හිමි, මහ පොළොවේ අපි සංවිධානයේ සභාපති එම්. ජනේන්ද්‍රසිංහ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

Social Sharing
නවතම