සක්‍රීය නැති දේශපාලන පක්ෂ ලියාපදිංචිය අහෝසි කරන්න! – පැෆරල් ඉල්ලයි.

පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායක නැවත සලකා බලන ලෙසත්, මැතිවරණ වලට අඛණ්ඩව තරඟ නොකරන පක්ෂ, සක්‍රීය දේශපාලනයේ නොයෙදෙන පක්ෂ වාර්ෂිකව හෝ වසර කිහිපයකට වරක්  සමාලෝචනය  කර ලියාපදිංචිය අහෝසි කිරීමට ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසත්, පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා වෙත පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක් යවමින් මේ බව ඉල්ලා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

වත්මන් මැතිවරණ කොමිෂන් සභාව පත්වීමෙන් අනතුරුව ගනු ලැබූ සාධනීය තීන්දු අතර බොහෝ කාලසීමාවක් තුළ සමාජයේ සංවාදයට බඳුන්වෙමින් තිබූ වාර්ගික හෝ ආගමික පදනමකින් හා ආගමික නිල නාම තුළින් ප‍්‍රකාශ වන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට ගත්  තීන්දුව පිළිබඳව පැෆ්රල් සංවිධානයේ ඉමහත් පැසසුමට ලක්වන බව සඳහන් කල යුතුය. එමෙන්ම දැනට ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ වල නිල නාම තුළින්ද ආගමික හෝ වාර්ගික සංකල්පයක් ගම්‍ය වන්නේ නම් ඒ සඳහා සංශෝධනයට සාධාරණ කාලසීමක් ලබාදීමට ගත් ඉදිරිගාමී තීන්දුවද සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේක්ෂා දල්වන්නක් බව අපගේ විශ්වාසයයි. මෙකී කාරණා පැෆ්රල් සංවිධානය දශක කිහිපයක සිට මතු කල අතර පසුගිය වසරේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනා අතර මෙම කරුණ අප අවධාරණය කරණු ලැබීය.

විවිධ පටු පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ අභිලාෂයෙන් සමාජය තුළ නිර්මාණය කරන ලද වාර්ගික හා ආගමික බෙදීම් හේතුවෙන් දශක තුනකට අධික කාලසීමාවක් රටක් ලෙස අප  ඕනෑවටත් වඩා වන්දි ගෙවා ඇත්තෙමු. වාර්ගික හෝ ආගමික අසමගිය නිර්මාණය කරන කිසිදු සාධකයකට සමාජය තුළ ඉඩ නොතැබිය යුතු වටපිටාවක මැතිවරණ කොමිසම ගත් එඩිතර තීන්දුව පැසසුමට ලක්විය යුත්තකි. එමෙන්ම දේශපාලන පක්ෂය ලියාපදිංචිය, දේශපාලන අරමුණුවලින් තොරව ව්‍යාපාරික හා වෙනත් පෞද්ගලික අපේක්ෂාවන් අරභයා සිදු කිරීමට උත්සාහ දරන බව පසුගිය කාලය තුළ දක්නට ලැබිණි. එමෙන්ම ඒ හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෑල්ලුවට ලක්වීමත්, මැතිවරණවලදී මහජන පදනමකින් තොරව වෙනත් විවිධ අරමුණු උදෙසා විශාල දේශපාලන පක්ෂ ප‍්‍රමාණයක් තරග කිරීම  මහජන මුදල් විශාල ලෙස විනාශ වීමකි. එබැවින් පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායක නැවත සලකා බලන ලෙසත්, මැතිවරණවලට අඛණ්ඩව තරග නොකරන පක්ෂ, සක්‍රීය දේශපාලනයේ නොයෙදෙන පක්ෂ වාර්ෂිකව හෝ වසර කිහිපයකට වරක්  සමාලෝචනය  කර ලියාපදිංචිය අහෝසි කිරීමට ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසත්, ඉල්ලා සිටිමි.

එමෙන්ම වර්තමාන දේශපාලන පක්ෂ වල තීන්දු තීරණ ගන්නා මණ්ඩල වල සංයුතිය සලකා බැලීමේදී එකී මණ්ඩල වල කාන්තාවන්ගේ මතය නියෝජනය කිරීමට ප‍්‍රමාණවත් අවකාශයක් ලබා නොදීම කණගාටුවට කරුණකි. මීට අදාලව 2011 වර්ෂයේ පක්ෂ ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් එකතු කලද එහි අපේක්ෂා කල පරිදි අවම වශයෙන් පක්ෂවල තීන්දු ගන්නා මණ්ඩලවල එක් අයෙකු හෝ ඇතුලත් කල යුතු වුවද මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර පක්ෂවල විධායක මණ්ඩලවල එවැනි කාන්තා නියෝජනයක් දැකිය නොහැකිය. එබැවින් ඉදිරි වාර්ෂික සම්මේලන වලදී පක්ෂ වල ප‍්‍රධාන තනතුරුවලින් එකක් හෝ අනිවාර්යයෙන් ලබාදීමට දේශපාලන පක්ෂවලට උපදෙස් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

paffrel sri lanka rohana hettiarachchi

-ශානි-

Social Sharing
නවතම