ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධී උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට පැතිරේ…

ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර විරෝධතා දියත් කර තිබේ.

මාර්තු 30 අඟහරුවාදා මුලතිව් නගර මධ්‍යයේ සහ පුදුකුඩිඉරිප්පු නගර මධ්‍යයේ විරෝධතා දියත් කරද්දී ණය බරින් මිරීකී සිටින නැගෙනහිර පළාතේ කාන්තාවන් විරෝධතාවය දියත් කර ඇත්තේ  මඩකලපුව කිතුල ග්‍රාමයේදීය. මීට අමතරව මන්නාරම ඇතුළු ස්ථාන පහළොවකට වැඩි සංඛ්‍යාවක මහජන සැලසුම් සංසදය විසින් සංවිධානය කරන ලද  විරෝධතා පැවැත්වුණු බව වාර්තාකරුවෝ පවසති.

පොරොන්දු වූ පරිදි සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය වහා අහෝසි කරන ලෙස බලකරමින් පැවැති විරෝධතාවයේ එක් සටන් පුවරුවක සිංහල බසින්  සදහන්ව තිබුනේ “ණය ගත්තේ ගොඩ යන්නයි. සිද්ධ උනේ වැලලෙන්නයි” යනුවෙනි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරන ලෙස රජයට බලකරමින් හිඟුරක්ගොඩ නගරයේ රාජ ස්මාරකය ඉදිරිපිටින් ජගත් කාන්තා දිනයේ ආරම්භ කළ  උපවාසය මේ දක්වාම අඛණ්ඩව දියත් වෙමින් පවති.

ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව පවසන්නේ ණය බර උසුලාගත නොහැකිව ලාංකික කාන්තාවන් දෙසීයකට අධික පිරිසක් මේ වන විට  සියදිවි හානිකරගෙන ඇති බවයි.

අධික පොලිය හේතුවෙන් ණය වාරික ගෙවා ගත නොහැකිව සිටින විසිහතර ලක්ෂයකට අධික මෙරට කාන්තාවන්ට මුල්‍ය සමාගම් සහ ණය එකතු කරන නිලධාරීන්ගේ නින්දා අපහාස ඇතුළු නොයෙක් ආකාරයේ ශාරීරික, මානසික හිංසාවලට ලක් වීමට සිදුව ඇති බවත් එම එකමුතුව පෙන්වා දෙයි.

“බොහෝ කාන්තාවන් ක්ෂුද්‍ර ණය ගෙවීම පිණිස තවත් විකල්ප යැයි තෝරාගත් මාර්ගවලින් ණය ලබාගෙන මේ වන විට ණය ජාලාවක සිර වී සිටියි. මෙවන් පීඩාවන් මධ්‍යයේ බොහෝ කාන්තාවන් ණය ගෙවීම සදහා තමන්ගේ කන කර, ගේ දොර ඉඩ කඩම් ගෙදර බඩු මුට්ටු විකුණා ඇත. තවත් අය තමන් ජීවත් ව සිටින නිවස පවා උකස් කර ක්ෂුද්‍ර ණය ගෙවීමට උත්සාහ දරා ඇත,” යි ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

පාලකයන් අඛණ්ඩව තම දේශපාලන බල අපේක්ෂාවන් වෙනුවෙන් ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන් බරපතල රැවටීමකට හා මුලාවකට ලක් කොට ඡන්දය කොල්ල කාගෙන තම පැවැත්ම තහවුරු කරගත් බවටත් ක්ෂුද්‍ර මුල්‍ය ණය පීඩිත කාන්තාවෝ චෝදනා කරති.

ආණ්ඩුව වගකීම මගහැරලා

ඔවුන් අවධාරණය කරන්නේ බිම් මට්ටමේ ආර්ථික කටයුතු මෙන්ම දරිද්‍රතාවය දුරලන ක්‍රියාවලියෙන් රජය ඉවත් වී ඒ වගකීම ලාභය මුලික කරගත් මුල්‍ය අංශයට පැවරීම ක්ෂුද්‍ර ණය අර්බුදයට ප්‍රධානතම හේතුව බවයි.

වහාම මැදිහත් වී මෙම ණය කපාහැර කාන්තාවන් පත්ව සිටින අසීරු තත්වයෙන් මුදවාලන ලෙස   ණය බරින් මිරීකි සිටින කාන්තාවෝ දිගින් දිගටම  රජයෙන් ඉල්ලා සිටිති.

ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව විසින් පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයේ මුලික ඉල්ලීම් පහකි.

01.සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කරනු!

02.කොල්ලකාරී ක්ෂුද්‍ර මුල්‍ය ණය පිළිබද විගණනයක් කරන තුරු සියලු ණය අය කර ගැනීම වහා නවතනු!

03.ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන්ට එරෙහිව ගන්නා වු සියලු නීති ක්‍රියාමාර්ග නවතනු !

04.ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන් අසාදු ( ක්‍රිබ්) ලේඛනයෙන් වහා ඉවත් කරනු !

05.ගැතිබවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍රකරගත් කාන්තාවන් සතු මුල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරනු!

ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරන ලෙස රජයට බලකරමින් මාර්තු 25 වන දින අගනගරයේදී විරෝධතාවයක් දියත් කිරීමට සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති කටයුතු කර තිබුනි.

Social Sharing
නවතම