“මගේ දරුවයි බිරිඳයි ආරක්ෂා කරලා දෙන්න” මාධ්‍යවේදී සුජීව ගමගේ

තම බිරිඳ හා දොළොස් හැවිරිදි දරුවාගේ ආරක්ෂාව සැලසීමට මැදිහත් වන ලෙස වධහිංසාවටත් පොලිසියේ තර්ජනයටත් ගොදුරු වූ මාධ්‍යවේදියෙක් ප්‍රසිද්ධ ආයාචනයක් කර තිබේ.

පහර කෑමෙන් හා පිලිස්සීමෙන් ලත් තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා සත් දිනක් රෝහල් ගතවී සිටීමෙන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ (CCD)  ප්‍රශ්න කිරීමෙන්ද පීඩාවට පත්වූ මාධ්‍යවේදී සුජීව ගමගේ ප්‍රකාශ කරන්නේ තමන්ට සිදුවූ අපරාධය ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස ඔහුගේ බිරිඳ නයනි ගමගේටද තර්ජනය කරන ලද බවයි.

“වොයිස් කට දීලා තිබුනොත් ලොකු ප්‍රශ්නයක් වෙයි අනිත් එක ඔයාගේ මහත්තයාට එලියට එන්න හම්බ  වෙන්නෙත් නෑ,” යි CCD නිලධාරීන් ප්‍රකාශ කළ බව සාධාරණ සමාජයක් සඳහා මාධ්‍යවේදියෝ විසින් කැඳවන ලද මාධ්‍යවේදීන් හමුවේ සුජීව ගමගේ ප්‍රකාශ කළේය.

“මම ඉල්ලන්නේ මට මේ  වුනු දේ, මට මොනවා වුනත්, මගේ දරුවයි පවුලයි ඒ දෙන්නා ආරක්ෂා කරලා දෙන්න කියලා.”

පැය ගණනාවක් තිස්සේ ඇයගෙන් ප්‍රශ්න කරන ලද්දේ කිසිදු නිලධාරිනියක් නොමැතිව බවද ඔහු කියා සිටියේය.

තමන් හා බිරිඳ පීඩාවට පත් කරමින් පොලිසිය අසත්‍ය කරුණු සඳහන් පාපොච්චාරණයක්ද ලබාගත් බව සුජීව ගමගේ චෝදනා කරයි.

“ඒගොල්ලෝ බෝම්බයක් බාර ගන්න කිව්වත් මම බාර ගන්නවා, මොකද වයිෆ් එතන පපුවට ගහලා අඬලා මානසික රෝගියෙක් වගේ කෑ ගහද්දී මං මොනවද කරන්නේ?”

කෙසේවෙතත්, පැමිණ සිටි මාධ්‍යවේදීන් දිගින් දිගටම පොලිසිය උපුටා දක්වමින් වැඩි උනන්දුවක් දැක්වුවේ සුජීව ගමගේ ප්‍රකාශ කරන කරුණු අසත්‍ය බව තහවුරු කිරීමටය.

හතලිස් අවුරුද්දක් පමණ පුවත්පත් හා වෙබ් මාධ්‍ය වෘත්තියේ නිරතව සිටි බවට තමන් හා එක්ව සේවය කළ ප්‍රකට මාධ්‍යවේදීන්ගේ නම්ද සඳහන් කරමින් විශ්වසනීය කරුණු ගෙනහැර දැක්වීමක යෙදුනු ඔහු මාධ්‍යවේදියකු නොවන බව ඔප්පු කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් අසාර්ථක උත්සාහයක යෙදෙනු දැකගත හැකිවිය.

“මට මාධ්‍යවේදියෙක්, පොරක් කියන්න අවශ්‍ය නෑ. මම මාධ්‍යයට යම් දෙයක් කරන මිනිහෙක් විතරයි,” යනුවෙන් සුජීව ගමගේ පැවසීය.

සුජීව ගමගේ විහින් පුළුස්සා ගෙන සන්නද්ධ කණ්ඩායමකට එහි වරද පවරමින් අසත්‍ය ප්‍රකාශ කරන බව පොලිසිය කියා තිබුණි.

එය තහවුරු කිරීම සඳහා පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ කළේ පුළුස්සා ගැනීම සඳහා යොදාගත් බව කියමින් නඩු භාණ්ඩයක් වියයුතු මේසන් හැන්දක් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.

සුජීව ගමගේ එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

“පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය මං පිළිගන්නේ නෑ, ඔය මේසන් හැන්ද ඔය මොකක් වත් මගේ ඒවා නෙවෙයි.”

පොලිස් ප්‍රකාශකයාගෙන් කිසි ආකාරයකින් ප්‍රශ්න නොකළ මාධ්‍යවේදීන් වධ බන්ධනයට ලක්වූ තම වෘත්තීය සගයා හිඳ සිටි පුටුවෙන් නැගිට්ටවමින් තුවාල පවා පෙන්වන ලෙස අභියෝගයට ලක් කරන ආකාරය ඔවුන්ගේම වීඩියෝ පටවල වාර්තා වී තිබේ.

මාධ්‍ය හමුවට සහභාගි වු සුජීව ගමගේ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන්ගේ චර්යාව හැඳින්වූයේ දේශපාලකයන් රකිමින් සත්‍යය වසං කිරීමේ යෙදෙන “තක්කඩි මාධ්‍ය කලාවක්” ලෙසිනි.

අපරාධ පරීක්ෂණ කොට්ඨාශය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් මාධ්‍යවේදියා මානසික පීඩාවට පත් කොට “ආණ්ඩුවට ඕනෑ විදියට” ප්‍රකාශයක් ලබාගෙන එය පොලිස් ප්‍රකාශකයා ලවා කියවූ බවට ඔහු බරපතල චෝදනාවක්ද කළේය.

කෙසේ වෙතත්, CCDය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශය අසත්‍ය බව වටහා ගත් නිසා අධිකරණය සුජීව ගමගේට ඇප දී  නිදහස් කර යැවූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරි නඩු විභාගයේදී තවත් තොරතුරු හෙළිකිරීමට නීතිඥයා මෙන්ම මාධ්‍යවේදියාද සහතික විය.

සුජීව ගමගේට වධහිංසා කළ’වුන් “කවර තරාතිරමක වුවද” අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය හමුවට පමුණුවන ලෙස මාධ්‍ය හමුව කැඳවූ සාධාරණ සමාජයක් සඳහා මාධ්‍යවේදියෝ ප්‍රකාශක සුනිල් ජයසේකර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Social Sharing
නවතම