කුරුඳු සිගරුට්ටු ප්‍රවර්ධනය කළ ඇමතිට නීතිමය පියවර ඉල්ලයි.

කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද දුම්වැටියක් පහුගිය 17 දා එළි දක්වනු ලැබුයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් එම දුම්වැටියේ විශේෂත්වය ගැන කථා කළ අතර ඔහු දුම්වැටිය පානය කරද පෙන්වීය. ලංකාවේ නිශ්පාදිත ආයුර්වේද නිශ්පාදනයක් ලෙස හුවා දක්වමින් විදේශීය නිකොටින් සහිත සිගරට් වලට ආදෙශකයක් ලෙස භාවිතා කල හැකි දෙයක් ලෙස ඔහු  “කුරුඳු දුම්වැටි” හඳුන්වා දෙන ලදි.

ලංකාවේ නීතියට අනුව දුම් වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලයක් නැත. මෙය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් ප්‍රකාශිත දුම්කොල මධ්‍යසාර පනත් උල්ලංඝනය කිරීමකි.

රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස ඔහු ඒ ආකාරයෙන් ක්‍රියා කිරිම පිලිබඳ බොහෝ දෙනෙකු අප්‍රසාදය පළ කර සිටියහ.

ජනතාව දුම්වැටි වලට හුරුකරවන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරය හෙලා දකින බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ අතරය.

එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ මේ දුම්වැටි නිෂ්පාදකයින්ගේ ඉලක්කය මෙම නිශ්පාදන කර්මාන්ත ශාලා සියයක් පමන රට පුරා ඇරඹීම බවය.  දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් චීන දුම්වැටි ආනයනය සදහා බලපත්‍ර ලබා දීමට උත්සාහ කල අවස්ථාවේදී නිකුත් කළ නිවේදනය මගින්ද ලංකාවේ ජනතාව දුම්වැටි හා දුම්කොළ නිශ්පාදනයන්ට හුරුකරවීම බරපතල ගැටළුවක් සේ පෙන්වා දී තිබුනි.

අද දවසේ තරුණ පරපුරේ දුම්වැටි භාවිතාව සාපේක්ශව අඩුවීමේ ප්‍රවනතාවයක් ඇති බැවින් මෙමගින් පාසල් දරුවන් තුල නව සිගරට්ටු අත් හදා බැලීමත් ඉන්පසු ඊළඟ පියවර ලෙස නිකොටින් සහිත දුම්වැටි කරා යාමත් සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත උත්තේජනයක් බව පවසන සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය  අවධාරණ කර සිටින්නේ  රටේ වගකිව යුතු ඇමතිවරයෙකු මෙය මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීමෙන් දරුවන් පලමුව එයටත් ඉන්පසු විදේශීය සිගරට් වලටත් හසුවනු ඇති බවය.

රටේ සමස්ත සෞඛ්‍ය වියදමෙන් විශාල මුදලක් ශ්වසන සහ හෘද රෝග වලට වෙන් වන අතර ඉන් බොහෝමයක් සක්‍රීය මෙන්ම අක්‍රීය දුම් පානය නිසා වී ඇති බවත්  එසේ රෝගී වන්නන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා රජයට අති විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන අතර කොරෝනා වසංගතය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහාද දුම්වැටි භාවිතය අවම කිරීම අත්‍යාවශ්‍යව ඇතැයිද එම නිවේදනයෙන් කියා ඇත.

එබැවින් මෙම පදනම් විරහිත දුම්වැටි ප්‍රචාරණය සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම හෙලා දකින බවත්  මේ සඳහා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුකල යුතු බව අවධාරණය කර ඉදිරියේදී මෙවන් අසත්‍ය පදනම් විරහිත ප්‍රචාරණයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසත්, එකී අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

එසේම මෙම කුරුඳු සිගරට්ටුව තුලින් ඇතිවිය හැකි බලපෑම් ගැන දැනුම් දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ලිපියක් යොමු කර ඇත.

-ශානි-

Social Sharing
නවතම