මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නොවේ. – ජනපති

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශීයත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියන්ට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවද ඒ මහතා කියයි.

තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිඳු බලපෑමක් කර නැතැයිද  විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන “ගම සමග පිළිසඳරක්” වැඩසටහනට එක්වෙමිනි.

දැන් සිටින මාධ්‍ය වල සිටින්නේ පුදුම කට්ටියක් බවද මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නොවන බවත්  ඒක මාෆියාවක් යැයිද ඔහු කියා සිටියි.

අපේ රටේ රජවරුත් නැහැ මහරාජාලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. මෙහෙ රජයවල් පාලකයා පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා පාඩම් උගන්වන්න ඕනේ නම් ඒවා කරන්න. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් රට පාලනය කළා. මම කිසිම මාධ්‍ය ආයතනයක් පාලනය කරන්න ගියේ නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකට නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒ නීති ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනවා යැයිද ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එමෙන්ම යුද සමයේ රජයට විරුද්ධව ක්‍රියා කළ කණ්ඩායම් නැවත නැඟී සිටිමට උත්සහ දරමින් සිටින බවද ඔහු කීහ.

-ශානි-

Social Sharing
නවතම