දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුව

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු 2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේදී පෙර සැලසුම් පරිදි නොපවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර සිටියේ ඊයේ (14) දිනයේය. ඇතැම් පුවත්පත් වලද අද දිනයේ ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුණේ මෙම ප්‍රවෘත්තියය.

එම පුවතට අනුව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා විසින් මෙම විභාග කල් දැමීමට හේතුව ලෙස සඳහන් කර තිබුණේ  විෂය නිර්දේශයන් ආවරණය කිරීමට නොහැකිවීම නිසා බවය.

ඒ අනුව ඉදිරි තත්ත්වය සලකා බලා හැකි ඉක්මනින් විභාග පවත්වන දින වකවානු සම්බන්ධයෙන් තීරණය කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

විභාග කොමසාරිස්වරයා එසේ පැවසුවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද (15) දින පවසා ඇත්තේ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තුවේ දී නොපැවැත්වීමට තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් පාසල් ආරම්භ වූ පසු තීරණය කෙරෙන බවද  ඔහු පවසා සිටියි.

අදාල කරුණ ගැන විභාග කොමසාරිස්වරයා තමන් අමතා විභාග පැවැත්වීම ගැන සාකච්ඡාවක් පමණක් පැවැත්වූ බවත් ඊට එක්වූ පළාත් අධ්‍යාපන බලධාරීන් විෂය නිර්දේශ ආවරණය නොවීම වැනිකරුණු මතුකළ බවත් ඔහු පැවසූ බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් වරු දෙකම අධ්‍යාපන කටයුතු සිදුකොට සතිඅන්තයේ ද පාසල් පවත්වා මෙම සිසු කණ්ඩායම් විභාගය ට සූදානම් කිරීමේ හැකියාවද සොයාබැලීමට නියමිත බව ද අනෙක් අතින් ප්‍රශ්න පත්‍ර සැකසීම වැනි කරුණු ද බලපාන බැවින් මේ පිලිබඳ කඩිනමින් තීරණයකට එළඹෙන  බවත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

අයිතිය මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතාගෙන් විමසා සිටියෙමු.

ඔහු පවසා සිටින්නේ ‌අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම මීට ප්‍රධානම හේතුව බවය. රජයේ මේ තීරණ නිසා අපහසුතාවයට පත් වෙන්නේ ගුරුවරුන්, දරුවන් මෙන්ම දෙමාපියන් බවය. විභාග දෙපාර්තමේන්තුවත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් වෙන්ව ඇත්තේ තාප්පයකින් පමණක් වුවත් මොවුන්ගේ සම්බන්ධීකරණය ඉතාම දුර්වල බවත් මොවුන් මේ ක්‍රියා කරන්නේ දරුවන්ගේ ජිවිත සමඟ බවද ඔහු කියා සිටියි.

මෙහිදී විභාග කල් දැමීමක් නොකර විශේෂයෙන් බස්නාහිර පළාතේ ආවරණය කර ඇති විෂය නිර්දේශ සලකා බලා ඒ අනුව ප්‍රශ්නපත්‍ර සකසා විභාගය පැවැත්වීමේ හැකියාව ඇතැයිද ජෝශප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම