ජනාධිපති යලි දේශපාලනයට නොඑන කතා කියන්නේ දැනටමත් කලකිරිලා නිසයි! – කිරිඇල්ල

රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට තිබුණත් මෙරට ගැටළුවල පවතින සංකීර්ණ තත්ත්වය පිළිබද අවබෝධයක් ඔහුට නැතැයි සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මේ හේතුව නිසා යළි තමන් දේශපාලනයට නොපැමිණෙන බව දැනටමත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිදුවුණු කළ කිරීම නිසා යැයි කුණ්ඩසාලේ  දිගන ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කීවේය.

වසරකින් රට එපාවී ඇත්නම් යුද්ධය කළේ කවුදැයි දැන් සිතාගත හැකි යැයි කී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මෙරට ණය ප්‍රමාණයෙන් සියයට හැටක් මහින්ද රාජපක්ෂ මහතා ගත් ණයයි. ඔහු ණය ලබා ගෙන කළේ ආදායම් නොලැබෙන ව්‍යාපෘති ආරම්භ කිරීමයි. කොළඹ වරාය නගරයෙන් ආදායම් ලැබෙන්නේ වසර තිස්පහකට පසුවයි. හම්බන්තොට වරායත් එලෙසමයි.

පාර්ලිමේන්තුවේ දී අප හමුවන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අපට කියන්නේ ජනතාවට මුහුණු දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි. අපි යම් පසුබෑමකට පත්වුණේ පාස්කු ප්‍රහාරය හා බැදුම්කර වංචාව නිසයි. නමුත් අපි සංවර්ධන කටයුතු මෙන්ම රැකියා ලබාදීම් ආදි ක්‍රියාවන් දියත් කළා.

පැය විසිහතරින් අල්ලනවා කිව්වාට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලුවාද? බැදුම්කර වංචාව හෙළි වූ පසු අපේ ආණ්ඩුව නඩු දැම්මා. ඊළඟ ආණ්ඩුවට කරන්න තිබුණේ නැහැ. නඩුව නිසා පර්පර්චුවෙල් සමාගමේ ගිණුම් අත්හිටුවා තිබෙනවා. බිලියන දෙළහක් එහි බැංකු ගිණුම්වල තවමත් තිබෙනවා.

බිලියන 16ක් වන සීනි ගනුදෙනුව පිළිබදව එකිනෙකාට චෝදනා කරමින් නොසිට වහාම නඩු පවරා වරදකරුවන් හෙළි කර ගන්න. නමුත් සීනි ගනුදෙනුවට අදාල උපදෙස් ලැබුණේ ජනාධිපති මන්දිරයේ සිට යැයි අපිට දැනගන්න ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Social Sharing
නවතම