මේ දිනවල දකින්නේ පක්ෂය අභ්‍යන්තරයේ ඇති පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයයි! – කෙහෙළිය

පොදුජන පෙරමුණේ ඇතැම් වාමාංශික පක්ෂ මේ දිනවල යම් පෙනී සිටීමක් කිරීම තුළින් පෙනී යන්නේ අභ්‍යන්තරයේ ඇති පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ වෙනත් පක්ෂවල නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් දැකිය හැකි යැයි ද  ඒ මහතා ප්‍රකාශ කළේය.

කුණ්ඩසාලේ කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී අද (12) පැවති රුක් රෝපණ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

පාර්ලිමේන්තුව පත්ව මාස පහක පමණ කාලයක් ගතව ඇති බව කී අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාට කළ නොහැකි බවත් ඒ කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් යයි ද ප්‍රකාශ කළේය. එදා පළාත් සභා මැතිවරණය පවත්වන්න එපා යැයි හඬ නැගූ පිරිස් අද විපක්ෂයේ සිට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි හඬ නගන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

පළාත් සභා  මැතිවරණය පැවැත්විය යුතු බවට එදා පාර්ලිමේන්තුවේ සිට තමන් ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල හඬක් නැඟූ බව කී අමාත්‍යවරයා එවකට පාලනය ඒ වෙනුවට සිදුකළේ නිවෙස් වල සිටි අමාත්‍යවරුන් පාර්ලිමේන්තුව වෙත  ගෙන්වාගෙන මැතිවරණය කල් දැමීමට අවශ්‍ය ඡන්දය ලබා ගැනීම යැයි ද කීහ.

පාර්ලිමේන්තුව තුළ පවතින නීතිමය තත්වයන් අවබෝධ කර ගනිමින් අවශ්‍ය වෙලාවට අදාල මැතිවරණ කිසිදු ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම