රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!

රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් ඊයේ (12) එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ කථාය.

එමෙන්ම ගත වු පැය කිහිපය තුල ඔහු සමාජ මාධ්‍යයේ ජනප්‍රියම චරිතය බවටද පත්ව ඇති අයුරු දක්නට ඇත. වෙනදා ඔහුට දොස් කියුවෝද ඔහුට ලබා දි ඇති දඬුවම සම්බන්ධයෙන් විවේචනය කරමින් සිටියි.

රංජන් රාමනායක මහතාට මේ සිර දඬුවම හිමි වුයේ 2017-08-21 වෙනි දින එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත දැක් වු අදහස් කිහිපයක් නිසාය. ඒ් මෙරට විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට ප්‍රකාශ කිරීමය.

එයට විරුද්ධව බොදුබල සේනාවේ සාමාජිකයෙකු වු  පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත  හිමි හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වු සුනිල් පෙරේරා මහතා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර නීතිපතිවරයා විසින් රංජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර තිබුණි.

මෙම නඩුව විභාග කෙරුණේ ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ලක් වු සිසිර ද ආබෘ  , විජිත්  මලල්ගොඩ හා ප්‍රීති පද්මන් සුරසේන යන  ත්‍රිපුද්ගල කමිටුව හමුවේය.

එම ත්‍රිපුද්ගල කමිටුව ඊයේ දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබු අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබ්බට  ඔප්පු වෙන බවය.

රංජන් රාමනායක මහතා කියු තිබු ආකාරයට මෙරට නීතිඥවරුන්ගෙන් හා විනිසුරුවරයින්ගෙන් බහුතරයක් දුෂිතයින් බවත් ඔවුන් මුදලට වැඩ කරමින් දුෂිතයින් බේරා ගන්නා බවටත් කර තිබු ප්‍රකාශය සාක්ෂි වලින් අනාවරණය වු බව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කියා තිබුණි.

නමුත් මෙහි වගත්තරකාර රංජන් රාමනායක මහතා අධිකරණය  හමුවේ ප්‍රශ්නගත ප්‍රකාශය තුල තමන් අතින් විසිසුරුවරුන් යැයි සඳහන් වුයේ වැරදීමකින් යැයි සඳහන් කර තිබුණු නමුත් ඔහුගේ පශ්චාත් විත්ති ක්‍රියාකලාපය පිරික්සිමේදි එම විත්ති වාචකය බිඳ වැටෙන බව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා ඇත.

මන්ද මෙම නඩුව අධිකරණයේ කැඳවන් දිනවල මෙන්ම අවසන් දිනවල වගඋත්තරකාර රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය වලට විවිධ ප්‍රකාශ සිදු කර ඇති බවත් පෙන්වා දුන් සභාපති විනිසුරු සිසිර ද ආබෘ මහතා කියා සිටියේ එම ප්‍රකාශ වලින් ඔහු මුලින් සිදු කළ ප්‍රකාශය වු විනිසුරු දුෂිතයින් බවට වු ප්‍රකාශය  ඉල්ලා අස් කර නොගන්නා බවට අවධාරණය කර තිබු බවය.  තමන් ඒ් වෙනුවෙන් සිර දඬුවම් පවා විඳිමට සුදානම් බවටත් උපරිමාධිකරණ සංකීර්ණයේදි  ජනමාධ්‍ය වෙත වග උත්තරකරු විසින් ප්‍රකාශ කර තිබු බව සභාපති විනිසුරු සිසිර ද ආබෘ මහතා කියා ඇත. මේ තුලින් විනිසුරුවරුන්ට අපහාස කිරිමේ චේතනාවක් තිබු බව පුන පුනා ප්‍රකාශ කර ඇති බවත් මේ සියලු කරුණු පිරික්සිමේදි වග උත්තරාර රංජන් රාමනායක මහතාට එරෙහිව නඟා තිබු චෝදනාව සාධාරණ සැකයකින් ඔබ්බට තහවුරු වන බව ප්‍රකාශ කරමින්  බරතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම කර තිබුණි.

රංජන් රාමනායක මහතාගේ සිරගත වීම දෙස බැලු විට සත්‍ය වශයෙන්ම ඔහු සිරගත වී ඇත්තේ මෙරට සමස්ත ජනමාධ්‍ය ක්‍රියාවලිය නිසා බව පෙනෙන්ට ඇත.

අප කවුරුත් දන්නා පරිදි රංජන් රාමනායක මහතා කථාවට රුසියෙකි. එමෙන්ම මාධ්‍යට කැමැත්තක් ඇති පුද්ගලයෙකි. ඔහු තැන නොතැන බලා හිතේ ඇති දේ කෙලින් කියන පුද්ගලයෙකි. මේ බව හොඳින් අවබෝධ කරගෙන සිටියේ ජනමාධ්‍යවේදීන්ය. රංජන් රාමනායක කොතැනද? එතැන ජනමාධ්‍යවේදීන්ය.  ඒ් ඔහුගෙන් නැගලා යන වොයිස් කට් එකක් ගැනීමටය.

මේ වොයිස් කට් හා ඔහුගේ හැසිරිම නිසා මේ වනවිට ඔහුට නඩු 21 ක් අධිකරණයේ ඇත. අධිකරණයට යන විටත් ආපසු එනවිටත් ඇතැම් ජනමාධ්‍ය ඔහුගෙන් වොයිස් කට් ඉල්ලන්නේ අධිකරණ පරිශ්‍රයේ සිටමය. මේ වොයිස් කට් නිසා අද ඔහුට බන්ධනාගාර ගත වීමට සිදුව ඇත. ඒ් බව සභාපති විනිසුරුවරයාද පෙන්වා දී තිබුණි.

කොවිඩ් 19 වසංගත සමයේ අසරණ ජනතාවට හාල් කිලෝ 05 ක්, මුදලක් ලබා දෙන විට ඊට විනාඩියකවත් මාධ්‍ය ආවරණය ලබා දීමට නොහැකි වු ජනමාධ්‍ය ඊයේ දින ඔහුගේ සිරගත වීම, මන්ත්‍රිධුරය අහෝසි වීම පිලිබඳ , ඡන්ද අයිතිය අහිමි විම පිලිබඳ ගුවන් කාලය විශාල ලෙස ලබා ගනිමින් කරුණු දක්වනු දක්නට ලැබුණි.

ඊට නිදසුන් ලෙස දෙරණ පුවත් වල  ඊයේ රංජන් වෙනුවෙන් විනාඩි 11. 08 ක්ද හිරු පුවත් වල විනාඩි 10.41 ක්ද ගුවන් කාලය වැය කරමින් රංජන්ගේ සිද්ධිය මනාව විග්‍රහ කරනු දක්නට ලැබුණි.

කෙසේ නමුදු අවසානයේ නැගලා යන වොයිස් කට් එකක් වෙනුවෙන් රංජන් සිරගත විය. මෙය අද රංජන්ට වුවා සේ ඉදිරියේදි තවත් අයෙකුට සිදු විය හැකිය. ඒ් නිසා ජනමාධ්‍ය එක් එක් පුද්ගලයින්ගේ කොන්ත්‍රාත්කරුවන් නොවි මීට වඩා සංයමකින් යුක්තව තොරතුරු වාර්තා කළ යුතුව ඇත.

ශානිකා

 

Social Sharing
නවතම විශේෂාංග