සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමකින් යුක්ත රජ පිහිල්ල උද්‍යානය වත්මන් කුරුණෑගල නගාරාධිපතිවරයා විසින් විනාශ කරමින් ඇති බවට නගරවාසීහු චෝදනා කරති.

අවුරුදු තුන්සියයකටත්  වඩා ඉපැරණි විශාල ගස් ගලවා දමමින් භූමිය ඩෝසර් කරන අයුරු මේ දිනවල දැක ගත හැකිය. එමෙන්ම උද්‍යානය තුල තිබු විවේකාගාරයක්ද කඩා දමා ඇත.

මේ පිලිබඳ වයඹ හඬ පරිසර සංවිධානයේ උපදේශක ජයන්ත විජේසිංහ මහතා අද (03) දින නිරීක්ෂණයකද නිරත විය.

රජ පිහිල්ල උද්‍යානයේ ඇති වැදගත්කම

කුරුණෑගල නුවර පාරත්, කුරුණෑගල අඹේපුස්ස 06 පාරත්, කොළඹ නුවර පාරත් යා කරන ස්ථානයට මැදිව රජ පිහිල්ල උද්‍යානය පිහිටා තිබේ. රජ දවසේ මෙය නන්දන උයන ලෙස හඳුන්වා ඇති අතර වර්තමානයේ රජ පිහිල්ල උද්‍යානය ලෙස හඳුන්වති.

එවක විසූ රාජකීයන් විසින් රජ පිහිල්ලෙන් ස්නානය කර මෙම උයනට පැමිණ විනෝද වී කාලය ගත කර ඇති බවට ජනප්‍රවාදයේ පැවැත එයි. මේ වන විට මෙම උද්‍යානය කුරුණෑගල නගර සභාව මඟින් පාලනය කරනු ලබන අතර මෙම උද්‍යානය ට පැමිණෙන සියලු දෙනාට අවශ්‍ය පහසුකම් සළසා ඇත.

කුරුණෑගල නගරාධිපති මෙසේ කියයි.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පවසන්නේ මෙය සංවර්ධන කටයුත්තක් බවය. විපක්ෂය මෙයට මඩ ගසමින් විනාශ කරන බව පැවසුවත් තමන් කරන්නේ මෙම උද්‍යානයේ ඇති අනවශ්‍ය ගස් කපා දැමීමක් පමණක් බවද ඔහු ප්‍රකාශ කර සිටියි.

මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා කුරුණෑගල දිස්ත්‍රික් නායක, කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි බව එහි පුවරුවක සඳහන් කර ඇත.

එමෙන්ම මෙම කටයුතු සිදු කරන්නේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියර වන්නේ උද්‍යානයේ ඇති ගස් කපා ඉවත් කිරීමය. මෙය සිදු කරනු ලබන්නේ පුද්ගලික සමාගමක් විසිනි.

මෙහි ගස් 28 ක් පමණක් ඉවත් කිරිමට සලකුණු කර තිබුණද මේ වන විට ගස් 32 ක් කපා දමා ඇත. ඒ අතර කොහොඹ හා මාර ගස් ද වේ.

Social Sharing
නවතම