වියදම් පියවීමට නම් රට වසා තබා බැහැ! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

PCR පරීක්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත්, එම වියදම් පියවීම හා ඉපයීම් ඉහළ නැංවීම සඳහා රට වසා තැබීමෙන් පලක් නොවන බවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (03) එක් වෙමිනි. පොලොන්නරුව මහ රෝහල හා වැඩකටයුතු අවසන් අදියරේ පවතින  ජාතික වකුගඩු රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි දි සෞඛ්‍ය කාර්ය මණ්ඩල අමතමින් මේ බව පැවසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ද කීය.

“අද අපි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ පළමු දේශීය නිරීක්ෂණ චාරිකාව විදිහට සිදු කළේ. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අද අපි තීරණාත්මක අදියරකට පැමිණිලා සිටින්නේ.

දැන් වැලිකන්ද රෝහල ගැන කතා කළා. IDH රෝහලට පස්සේ මම හිතන්නේ වැලිකන්ද තමයි ඉස්සෙල්ලාම කෝවිඩ් වසංගතයට ගොදුරු වූ රෝගීන් සඳහා රෝහලක් විදිහට ක්‍රියා කළේ.

ඒ වගේම දැනටත් කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් එක් ස්ථානයක ගොණු වෙලා ඉන්නවා නම් ඒ පොලොන්නරුවේ. වැලිකන්ද, කන්දකාඩු, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය, පූනානිත් පාලනය වෙන්නේ පොලොන්නරුවෙන්.

වැඩි පුරම කොවිඩ් වසංගතයට ගොදුරු වුණු රෝගීන් සංඛ්‍යාවක් ‍රැක බලා ගන්නේ පොලොන්නරුවේ ඔබ සියලු දෙනා. ඉතින් ඒ කරන ලද සේවයට  කෘතගුණ සැලකීමක් විදිහට තමයි අපි අද ආවේ. අඩුපාඩු ගැන කිව්වා.

නමුත් මේ අඩුපාඩු සියල්ල මම දන්නේ නෑ මේ අවුරුද්දේ ද තව අවුරුදු කීයකින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි ද කියලා. නමුත් අපි අද ආවේ ඔබලා කරන සේවයට කෘතගුණ සැලකීමක් විදිහට අඩුම ගාණේ වචනයකින් හරි ඇගයීමක් කරලා යන්න.

ඉතින් මේ අවුරුද්ද බොහොම තීරණාත්මක අවුරුද්දක්. කොවිඩ් වසංගතයත් එක්ක මම හිතන්නේ අපට මේ අවුරුද්ද ගත කරන්න සිද්ධ වෙයි. මම දන්නේ නෑ තව කොච්චර කාලයක් මේ වසංගත තත්ත්වය තියෙයි ද කියලා. අපි එන්නතක් ගේන්න බලාපොරොත්තු වෙනවා. කවද්ද කියන දිනවකවානු ගැන දැනට මෙතන කියන්න පුළුවන් කමක් නෑ.

කෙසේ වෙතත් දැන් අපේ රෝහල්වල සායනවලට එන රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ශල්‍යකර්ම අඩුවෙලා තියෙනවා. මිනිස්සු සමහර වෙලාවට එන්නේ නෑ බයයි. ශල්‍යකර්ම කරන්න ගියාම පරික්ෂණ රාශියක් කරලා අපට තමයි කරන්න වෙන්නේ.

ඉතින් ඒ නිසා අපට මේවා තව දුරටත් පිටිපස්සට පිටිපස්සට දාන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපට මේ වසංගත තත්ත්වයත් එක්ක දෛනික කටයුතු ආරම්භ කරලා සාමාන්‍ය විදිහට මේ අවුරුද්දේ අපේ දෛනික කටයුතු කරන්න වෙනවා.

ඒකට අපි සියලු දෙනාම පෙළ ගැසිය යුතුයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට විතරක් අදාල දෙයක් නෙමෙයි අනිත් දෙපාර්තමේන්තු ආයතනවලත් සමහර ආයතන තුනෙන් එකක්  වැඩට ආවා. සියයට 50ක් වැඩට ආවා. කණ්ඩායම් කරලා වැඩට ආවා. නමුත් එහෙම කරලා මෙය කවදාවත් පිරිමහන්න පුළුවන්කමක් නෑ.

ඒ නිසා අපි සියලු දෙනාම මේකට මුහුණදීලා අපිට මේ රෝගයත් එක්කම ජීවත් වෙන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. අපට රෝගීන් හම්බ වෙයි.නමුත් අපි ඒ රෝගයෙන් ආරක්ෂා වෙලා කොහොමද වැඩකරන්නේ කියන එක ට හොඳම උදාහරණය තමයි මෙම රෝහලේ ආසාධන පාළන හෙද නිලධාරිනිය එක්ක මම කතා කළා.

මම හිතන්නේ එතුමිය සොෆ්ට් කරලා තියෙනවාලු 15000ක් විතර. තාම එහෙම ඒ මිස්ට ඉන්ෆෙක්ෂන් එක හැදිලා නෑ කොහෙන්වත්. ඉතින් අපට ක්‍රම සහ විධි තියෙනවා මේකෙන් ආරක්ෂා වෙන්න. ඒ ක්‍රම සහ විධි අනුගමනය කරලා ආරක්ෂාවෙන විදි පිළිපදිමින් අපි මේ රෝගයත් එක්ක සාමාන්‍ය එදිනෙදා කටයුතු ආරම්භ කළ යුතුයි. එදිනෙදා ජනජීවිතය පවත්වාගෙන යා යුතුයි.

මොකද ඔබ දන්නවා අපි මාර්තු අප්‍රේල් මාසයේ අනුගමනය කළ ක්‍රමය මුලු රටම ලොක් ඩවුන් කරලා. මාස 2කින් නැවත් විවෘත කළා. එතකොට කිසිම ජනජීවිතයක් තිබ්බේ නෑ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනත් විතරයි කටයුතු කළේ.

සම්පූර්ණයෙන් ම ඒ ආව කේසස් ඉවර වුණාට පස්සේ විවෘත කළා. නමුත් මේ දෙවන ‍රැල්ල ආපහු සැරයක් ආවා. මේ අවස්ථාවේ දී අපි අනුගමනය කළේ වෙන්ත ක්‍රමවේදයක්. අපට නැවත රට ලොක් ඩවුන් කරන්න තිබුණා.

නමුත් දවසකට PCR පරික්ෂණවලට විතරක් රුපියල් මිලියන 60ක් වැය කරනවා . මේ සල්ලි රජයේ සල්ලි. මේ සල්ලි හොයන්න නම් අපට රට වහලා කරන්න බෑ. මේ රටේ කර්මාන්තශාලා, නිෂ්පාදන, ව්‍යවසායන් දිගටම පවත්වාගෙන යන්න ඕන.

එහෙම යන්න නම් අපට රට ලොක් ඩවුන් කරලා යන්න පුළුවන්කමක් නෑ. මේ රටත් ඇරලා වසංගතයත් කන්ට්‍රෝල් කරන එක තමයි අමාරුම වැඩේ. මට වැඩිය PHI මහත්වරු හොදටම දන්නවා ඇති. MOH ලා මෙතන ඉන්නවා. සමහර විට මේ අය පැය 24 ම වැඩ රීජන් එකේ කට්ටිය පැය 24ම වැඩ. කන්ටැක්ට් රේසින්වලට දුවනවා.

කදුරුවෙල කට්ටියක් රිපෝට් වෙලා තියෙනවා. ඒ අයගේ කන්ටැක්ට් හොයන්න සැහැන මහන්සියක් ගන්න ඕන.”

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් කිහිප දෙනෙකු ද පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

ඊෂා  මුදියන්සේ -පොලොන්නරුව

Social Sharing
නවතම