ගත වු මාස 04 ට නීති පද්ධතියේ නීති 37 ක් සංශෝධනයට

ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානයට යොමු කර ඇති බවත්  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අධිකරණ ක්ෂේත්‍රය වෙනස් කිරීමේ වගකීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරිමේ වැදගත්කම යනාදී කරුණු ගණනාවක් සදහා අඩිතාලම දමා ඇති බවත් ඒ සදහා මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙකී කර්තව්‍යන් ඉටු  කරන්නේ අප රටේ අනාගතය  වෙනුවෙන් බවත් මෙරට නීති පද්ධතිය 1947 න් පසු  නිසි පරිදි යාවත් කාලීන වී නොමැති බවත් නීතිය සැමට එක හා සමාන විය යුතු බවත් සදහන් කළේය.

සියලු දෙනා යම් දිනක විශ්‍රාම යන  බැවින් යම් සේවයක් කළා යැයි සතුටු විය හැකි ආකාරයට ක්‍රියා කිරීම වැදගත් බවත් ඉදිරි කාලය තුළ ක්‍රමානුකූලව, විද්‍යානුකූලව හා තාක්ෂණයට අනුව කටයුතු කර අවසානයේ සියලු ප්‍රතිලාභයන් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙත ගලා යන ආකාරයට ක්‍රියා කිරිම වැදගත් බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශයේදි රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් අනුස්මරණය කිරීමත්, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව දීමත් සිදු වු අතර පසුව අධිකරණ අමාත්‍යතුමා විසින් නව වසර වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් අදහස් දැක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.

Social Sharing
නවතම