අයවැයෙන් වතු කම්කරු වැටුප් වැඩි උනත්, හාම්පුතුන් මඟ හරී!

වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා වුයේ 2021 අයවැය යෝජනාවට අනුවය. ඊට පෙර සිට ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කීරීමට කිහිප අවස්ථාවක් කථා වුවද එය සිදු වුයේ නැත. මේ රජය බලයට පත් වීමේදී ලබා දුන් එක් මැතිවරණ පොරොන්දුවක් වුයේද මෙම වැටුප් වැඩි කිරීමය.

කෙසේ නමුදු වතු කම්කරුවන් මෙම වැටුප් වැඩි වීම ජනවාරි මාසයේ සිට ඉල්ලා සීටිම නිසා දැන් වතු හාම්පුතුන් සිටින්නේ කොන්දේසි රැසක් පනවමිනි. ඔවුන් කියා සිටින්නේ දැන් නෙලන තේ දළු වලට වඩා වැඩිපුර කිලෝ 02 ක් කඩා දෙන්නේ නම් මෙම මුදල ලබා දීමට හැකි බව ඇතැම්  වතු හාම්පුතුන් කියති. ඒ මෙන්ම දින 180 ක් අනිවාර්යෙන් වැඩ කළ යුතු බවටද ඔවුන් කොන්දේසි පනවා ඇත.

මේ සම්බන්ධයෙන් පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා පවසන්නේ අය වැයකින් වතු කම්කරු වැටුපක් වැඩිවූ පලමු අවස්ථාව මෙය බවත්  එහිදී කිසිම කොන්දේසියක් පැනවුයේ නැති බවය. වතු හාම්පුතුන් මේ කොන්දේසි පනවමින් සිටින්නේ වතු කම්කරු වැටුප දහස දක්වා වැඩි කිරීම නොදීමට බවත්ය. අය වැයකින් වැඩි කළ වැටුපකට කාටවත්ම කොන්දේසි දැමිය නොහැකි බවත් නමුත් වැඩි කල වැටුප  අවශ්‍යය බවත් එය ජනවාරියේදී නොදුන්නොත්  ඒ වෙනුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බවද ඔහු සඳහන් කර සිටියි.

වතු හාම්පුතුන් ඉල්ලන අමතර තේ දළු කිලෝග්‍රෑම් දෙක නෙළලා දෙන්න අපි කැමතියි. හැබැයි නියම කාර්තුවට තේ පොහොර වතුවලට දැමීමේ එකඟතාව මතයි. ඒ වාගේම දින 180ක් අනිවාර්‍යයෙන්ම වතු කම්කරුවන් වැඩ කිරීමේ කොන්දේසියටත් අපි එකඟයි. කොහොමත් වතු කම්කරුවන් හැමදාම වැඩට එනවා. ඔවුන් වැඩ කලොත් පමණයිනේ වැටුප ලැබෙන්නේ.

ඒ නිසා අපි වතු ඇමතිට මෙන්ම කම්කරු ඇමතිට කියනවා අපේ වැටුප වැඩි කිරීමට වතු හාම්පුතුන් ඉල්ලන මේ කොන්දේසි දෙකට අපි කැමතයි. ජනවාරි මාසයේ ඉදලා එය ක්‍රියාත්මක කරන්න කියලා. මේක අය වැයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩි කල වැටුපක්. අය වැයෙන් යෝජනා කරන අනෙක් යෝජනා හරියටම ක්‍රියාත්මක කරනවා නම් ඇයි වතු කම්කරුවන්ගේ වැටුප ජනවාරියේ සිට වැඩිකරන්න බැරි.

වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකටම අපි කැමතියි. එහෙමනම් වතු හාම්පතුන් එක්ක තව සාකච්ඡා ඕන නැහැ. දැන් තියෙන්නේ වතු කම්කරුවන් වෙනුවෙන් අය වැයෙන් යෝජනා කල මේ වැඩි කල වැටුප ලබලා දෙන එකයි. අපිට දැන ගන්න ලැබුණා මාධ්‍යයෙන් කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියනවා පෙබරවාරි මාර්තු මාසවලදී මේ වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය බොහෝ දුරට විසඳනවා කියලා.

එතකොට ජනවාරි පෙබරවාරි හා මාර්තු මාසවල වතු කම්කරුවන්ගේ වැටුප යන්නේ කාගේ සාක්කුවටද කියලා අපි එතුමාගෙන් අහනවා. මේ බොරු කතා නැතිව අය වැයෙන් වැඩි කල වතු කම්කරු වැටුප අපිට ලබලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි වැටුප් ඉල්ලන්නේ වැඩ කරලායි. අනෙක් සේවකයින් වගේ වැඩ නොකර නෙමේ” යයි රුවන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වතු සම්බන්ධිකාරක එස් .ටී ගනේෂලිංගම්  මහතා පවසන්නේද  වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවත් වතු සමාගම් එම වැටුප් වැඩි කිරීම කල නොහැකි බව පවසන බැවින් මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් නොවන්නේද යන්න ප්‍රශ්නයක් බවය.

අද වතු කම්කරුවන්ගේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දෛනික වැටුප් ප්‍රශ්නයයි මේ වතු කම්කරුවන් ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම සදහා 2015 සිටම විවිධ අරගල කරනවා අපිට මතකයි පසු ගිය කාලයේ මාස කිපයක් වර්ජන කරමින් ඔවුන් මේ රුපියල් දහසේ වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කල අකාරය.

එහෙත් මේ වන තෙක් එම වැටුප් වැඩි කර ගැනීමට නොහැකිවී තිබෙනවා පසු ගිය මැතිවරණවලදී මෙම ප්‍රදේශයේ දේශපාලන රැස්වීම්වලදීද මෙම වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිලිබදව විවිධ කතා පැවසුවා එත් මේ වන තෙක් මෙම වැටුප් වැඩිවීම සිදුව නැහැ.

2021 වර්ෂය සදහා අය වැය ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා 2021 ජනවාරි සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව එම ප්‍රකාශය සතුටට කරුනක් එත් මේ වතු හාම්පුතුන් පවසන්නේ මෙම වැටුප් වැඩි කිරීම කල නොහැකි බවයි, එම තත්වයන් මත මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොවන්නේද යන්න ප්‍රශ්නයක්.

වතු කම්කරුවන් සදහා වැටුප් වැඩි කිරීමේ සාමුහික ගිවිසුමද මේ වන විට කල් ගොස් තිබෙනවා වතු හාම්පුතුන් බලන්නේ වතු කම්කරුවනගේ වැටුප් වැඩි නොකර ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීම පමනයි මෙම තත්වයන් මත අපිට සැකයක් පවතිනවා මෙවරත් වතු කම්කරු වැටුප් වැඩි වීම පිලිබදව.

අද පවතින ජීවන වියදම මත වතු කම්කරුවන් දැඩි අසිරුතාවයන්ට පත් වෙලා ඉන්නේ මොකද මේ වන විට ඔවුන්ට ලැබෙන වැටුප ජීවත් වෙන්ව මදි මේ පිලිබදව රජය දැඩි අවදානය යොමු කල යුතු යැයි ඒ මහතා සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් පහුගියදා කම්කරු අමාත්‍යාංශයේදීද කතාබහට ලක් විය. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ ඇතුළු වතු කම්කරු නායකයන් සහ වතු සමාගම් පාලකයන් රැසක්, අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා,  කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන් කෞෂල්‍ය මහතා ද  එක් වූ සාකච්ඡාවකදීය .

මෙම සාකච්ඡාවේදී අවසන් තීරණය වුයේ 2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට සතියක් කල් ලබා දීමට අමාත්‍යවරයා තීරණය කළේය.

මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ වතු කම්කරු නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේ දී දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම තීරණයට අමාත්‍යවරයා එලඹියේය.

විශේෂයෙන් මෙහිදී වතු කම්කරුවෝ කම්කරු නායකයන් පෙන්වා දුන්නේ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවයි. එහිදී හාම්පුතුන්ගේ සම්මේලනය අදහස වන්නේ වතුකම්කරුවන් දෛනිකව අතිරේකව දලු කිලෝ 2 ක ප්‍රමාණයක් ලබා දිය යුතු බවයි. එසේම මෙම සේවකයන්ට සේවය අවසානය පාරිතෝෂිත දීමනා ගෙවීමේදී ඔවුන් ප්‍රමාණවත් තරම් දෛනික රාජකාරි කර නැති බවයි. ඒ අනුව සෑම සේවකයෙක්ම වසරකට දින 180 ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවට හාම්පුතුන් විසින් මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහි දී අමාත්‍යවරයා යොජනා කළේ දිනකට අතිරේක දළු කිලෝ එකක් දීම සහ දින 180 යෝජනාව පිළිගත හැකි බවය. එසේම කූඩ බරට හා කම්හල් අපතේ යෑම්වලට යැයි කියා වතු සේවකයන් නෙලන දළු අඩු කිරීම සාධාරණ නැති බව කම්කරු නියෝජිතයෝ පෙන්වා දුන්හ. මේ සියලු කරුණු සලකා බලා අමාත්‍යවරයා  ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුව ද වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට වන රජයේ තීන්දුව මොනම ආකාරයකින් හෝ වෙනස් විය නොහැකි බවයි. එසේම රුපියල් දහසේ අවම වැටුප ලබාදීමට නොහැකි යම්කිසි සමාගමක් වේ නම් එම වතු නැවත රජයට ලබා දෙන ලෙස ද ඇමැතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ අනුව රජය මගින් හෝ වෙනත් කළමනාකරණ සමාගමක් මගින් හෝ එම වතු පවත්වා ගෙන යෑමට රජය සූදානම් බව මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම