චම්පික රණවකගේ නව දේශපාලන පිම්ම සහ ක්‍රිස්තියානීන්ට ඇති අභියෝගය

චම්පික රණවක මහතා  හෙළ උරුමයෙන් ඉවත්ව නව දේශපාල ව්‍යාපාරයක් ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශයට  පත්කරන ලදි. එය දැනට ඔහු සාමාජිකත්වය දරන සජිත්  ප්‍රේමදාසගේ සමගි  ජනබලවේගය  හෝ  ඊට වඩා  පුළුල් පෙරමුණක් වියහැකි  බවද ඔහු දැක්වන ලදි. එහිලා ප්‍රබුද්ධ භික්ෂුන්  වහන්සේලාට, උගත් තරුණ-තරුණයින්ට, ‘දේශප්‍රේමී සිංහල-බෞද්ධ’ ජනයාට පෙරමුණ ගෙන ක්‍රියාකරන්න යැයි ඔහු ඉල්ලා සිටියේය .

ජනතා මිතුරෝ, සිංහල වීර  විදානය, ත්‍රස්‌තවිරෝධී ජාතික ව්‍යාපාරය, සිහළ  උරුමය සහ ජාතික  හෙළ උරුමය ආදී එකක් පසු පස එකක් ලෙස දේශපාලන සංවිධාන, පක්ෂ ආදිය ගොඩනගමින් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අත්කර ගැනීම සදහාවු සීඝ්‍ර ගමනක නිරතවන චම්පික රණවක මහතා, හෙළ උරුමයෙන් ඉවත්වෙමින් සිදුකල කථාව එක්තරා ආකාරයක දේශපාලන වැඩ පිළිවෙලක ප්‍රකාශණයක් (manifesto) ලෙස පැහැදිලිවම සැලකිය හැක්කකි.

එකී කථාව තුල ඔහු :

1.ත්‍රස්‌ත විරෝධී  ජාතික  ව්‍යාපාරය  බිහිකරමින් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පරදවා ශ්‍රී ලංකාවේ ඒකීය  රාජ්‍ය  ව්‍යූහය රැකගැනීමට  ඔහු ඇතුළු ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ගෙනගිය දේශපාලන වැඩපිළිවෙළ ගැන  විස්තර  කරන ලදී .

  1. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන විකාශනය විග්‍රහ කරමින් ‘සිංහල බෞද්ධයින්ගේ දුක් ගැනවිලි, අභියෝග සහ දේශපාලන අභිලාෂයන් විස්තර  කරන ලදී.
  2. නිදහසින් පසු පැවති රජයන් යටතේ මෙතෙක් සිංහල-බෞද්ධයින් ඉටුකරගත් දේශපාලන ඉල්ලීම් සහ වර්තමානයේ බලසම්පන්නව ඇති ‘නව සිංහල – බෞද්ධ මධ්‍යම පාන්තික’ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි රාජ්‍ය පාලනයක් ඇතිකරගැනීම සදහා නවතම දේශපාලන ව්‍යායාමයක  අවශ්‍යතාවය  මතුකරන ලදී.

පැහැදිලිවම චම්පික රණවක මහතාගේ  දේශපාලන දෘෂ්ටිය සිංහල-බෞද්ධ ස්වොත්මක ජාතිකවාදී (chauvinistic nationalism) දෘෂ්ටිවාදයක් සහ වැඩපිළිවෙලක් අනුව සකස්වුවක් බව නොරහසකි. ලංකික ශිෂ්ටාචාරය ගොඩනැගුවේ සිංහල-බෞද්ධයන්ය, ලාංකික අනන්‍යතාවයේ  පදනම සිංහල-බෞද්ධ සංස්කෘතිය ය යන්න ඔහු නිතර නිතර දක්වන්නකි.

ඔහුට අනුව හින්දු, මුස්ලිම් , ක්‍රිස්තියානි ආදී සෙසු ජාතීන් සහ අනන්‍යතාවයන් ලාංකික ශිෂ්ටාචාරය නම්වූ  සිංහල-බෞද්ධ මහා වෘක්ෂයේ එතුන ‘වැල්’ ය. තවද සිංහල-බෞද්ධ නොවන අනෙකුත් ජන කණ්ඩායම් නම් එකීවූ ‘වැල්’ වලට හොදින් වැඩී, මල්පල ගැන්වීමට තරම් ‘සිංහල-බෞද්ධ ජනයාගේ සහනශීලීත්වය’ ඉඩ ප්‍රස්ථාවක් ලබාදී ඇති බවත්, එය සිංහල-බෞද්ධ ශිෂ්ටාචාරය තුල ඇති ලක්ෂණයක් බවත්, අනෙක් ජාතීන් සහ සංස්කෘතික අන්‍යයතාවයන් එකී  ‘සිංහල-බෞද්ධ සහනශීලීත්වය’ හොදින් අවබෝධකර ගතයුතු බවත්, 2017 මැයි 01 දින හෙළ උරුමයේ මැයි දින උත්සවයේදී ඒ.ඊ.  බුල්ජන්ස්, අනගාරික ධර්මපාල, ඒ.ඊ. ගුණසිංහ ආදින් සමරමින් චම්පික රණවක මහතා දක්වා තිබුණි. එය මෙම යොමුව ඔස්සේ කියවිය හැක (https://marcuspriyanthaperera.blogspot.com/2017/04/blog-post_30.html)

චම්පික රණවක මහතාගේ  දේශපාලන  දෘෂ්ටිය  සිංහල-බෞද්ධ ස්වොත්මක ජාතිකවාදී (chauvinistic nationalism)  දෘෂ්ටිවාදී වැඩපිළිවෙලක් තුල සකස්වුවක් යැයි දක්වන්නේ ඔහු මේ ආකාරයට  සිංහල-බෞද්ධ අනන්‍යතාවය/ජාතිකත්වය රටේ සෙසු සියලු  ජාතික, ආගමීක සහ සංස්කෘතික අනන්‍යතාවයන් අභිබවමින්, යටපත්කරමින්, සෙසු සියල්ලටම වඩා  ඉහලින් අධිපතිවාදීව ඔසවා තබන  නිසාය. එවැනි ව්‍යාපෘති  සමාන  වන්නේ  ජර්මනියේ ජර්මන් ජනයා වු කලී සුපිරිසිදු, උදාර ආර්ය  ජනවර්ගයක් යැයි කියමින්, යුදෙව්, ජිප්සි, කොමුනිට්ස්, ඇනාකීස්ට් ආදී සෙසු සියලු ජාතීන්, දේශපාලනිකව වෙනත් මත දැරූවන් සමූලඝාතන කරමින්, ලෝක යුද්ධයකට මුල පුරමින් ජර්මනිය  විනාශයට ගෙනගිය  හිට්ලර්ගේ නාසිවාදී  ව්‍යාපෘතියටය.

කෙසේ වෙතත්, ලාංකික  දේශපාලන විභවයන්ගෙන් සමහරක් කාලාන්තරයක් තිස්සේ හිට්ලර් කෙනෙක් සොයමින් සිටින බව අපි දනිමු. ගෝඨාභය රාජපක්ෂලට හිට්ලර් කෙනෙක් වෙන්න යැයි ලංකාවේ ප්‍රමුඛ පෙලේ භික්ෂූන් වහන්සේ නමක් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටි බව සියල්ලෝ දනිති. බටහිර රටක නොව ජපානය හෝ වෙනත් දියුණු රටක කිසිවෙක් හිට්ලර් කෙනෙක් ඉල්ලා සිටින්නේ හෝ ඔහු ගැන පාරම්බාන්නේ නැත. එසේ කිරීම අපරාධයක් මෙන්ම, අපරාධයටකට අනුබලදීමක් ලෙස එකී රටවල් සලකති.

එහෙත් ලංකාවේ උගත්, වැදගත්, ප්‍රබුද්ධ යැයි කියන්න පිරිස් පවා හිට්ලර් ගැන තියා, ලෝක ඉතිහාසය, ලෝකයේ ශිෂ්ටාචාරය ගත පැවැත්ම ගැන මෙලෝ හසරක් දන්නේ නැත. ඔවුන් විවිධ විභාග පාස්කර දොස්තරවරු,නීතිඥයින්, ඉංජිනේරුවන්, පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන්, විද්‍යාඥන්, වාස්තු          විද්‍යාඥයායින්, ගණකාධිකාරීන්, ආචාරවරු, මහාචාර්යවරු, කලාකරුවන්, අතිසාර්ථක ව්‍යාපාරිකයන්, රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලකයින් බවට පත්ව සිටියද ඔවුන්ට දියුනු සමාජයන්වලින් පැමිණි එම ශ්‍රේණිවල සමාන සාමයිකයින් අතරවත් හරි හරිට පෑහීමට නොහැක. මේ තත්වය  මම ලංකාව තුලදී මෙන්ම වෙනත්  රටවලදීද අනන්තවත් දැක ඇත්තකි.

ඇත්තවශයෙන්ම, ලෝකයේ සුප්‍රකට විශ්වවිද්‍යාලට නොගියද, ලෝකප්‍රකට නිර්මාණයන්ගේ පහස සහ අත්දැකීම අත්නොවිදියද, සම්භාව්‍ය සහ  කලාකෘතීන්මක සංස්කෘතික නිෂ්පාදනයන්ගෙන් පන්නයක් නොලදද, භාෂා කිහිපයක් පිළිබද පරිචය නොමැතිවුවද, අපේ රටින්  බිහිවෙන වෘත්තිකයන්ගේ දක්ෂතා ලෝකයේ දියුණු රටවලින් බිහිකර ඇති එම ශ්‍රේණිවල සමාන සාමයිකයින්ගේ  දක්ෂතා පරයා  යන  සුළුය. දක්ෂතා අතින් නම් ඔවුන් කිසිසේත්ම කිසිවෙකුට දෙවෙනි නැත.

එහෙත් දියුනු සමාජයන්වලින් පැමිණි එම ශ්‍රේණිවල සමාන සාමයිකයින් අතරවත් හරි හරි  පෑහීමට ඔවුන්ට නොහැකි බව ලංකික පමණක් නොව බොහෝ ආසියානු සහ අප්‍රිකානු වෘත්තිකයන් නිරතරව අත්දකින යතාර්ථයක් වී තිබේ.

අවාසනව වී ඇත්තේ මෙසේ විවිධ විභාග පාස්කර දොස්තරවරු, නීතිඥයින්, ඉංජිනේරුවන්, පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන්, විද්‍යාඥන්, වාස්තු විද්‍යාඥයායින්, ගණකාධිකාරීන්, ආචාරවරු, මහාචාර්යවරු, කලාකරුවන්, අතිසාර්ථක ව්‍යාපාරිකයන්, රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලකයින් පවා පිටරටකදී පමණක් නොව තමන්ගේ රටේදී පවා තම ශ්‍රේණිවල සමහරුන්ගෙන් පමණක් නොව කිසිසේත්ම එම ශ්‍රේණිවලට අදාල නොවන එකී ශ්‍රේණිවලට පිටතින් සිටින ඇතම් පිරිස් සමග පවා පෑහීමට නොහැකිවීම.

ඔවුන්ට  පරයා යා නොහැකි, ඔවුන්ට පෑහීමට නොහැකි පිරිසක්  හමුවීමය. සිටීමය. ඔවුන් මෙන් එතරම් අධ්‍යාපනයක්, දැනුමක් සහ සුදුසුකම්  නොතිබුණද, ඔවුන් කෙතරම්  උඩකට  පැමිණියද  ඔවුන් භක්ති නොවදින, ඔවුන්ට  භුක්තිවිදිය නොහැකි, ඔවුන්ට පෑහීමට- අත්විදීමට නොහැකි සතුටටක්, තත්වයක්, වින්දනයක් භුක්තිවිදින පිරිසක් සිටින බව අවබෝධවීමම  එක්තරා ආකාරය ඔවුන්ගේ සියලු ජයග්‍රහණයන්ගේ හුලං බැස්සවීමකි. ඔවුන්ගේ  සියලු මස්තකප්‍රාප්තියන් (achievements) බොදකර දැමීමකි.

මේකී සියළු  කඩඉම්  පැන, විවිධ විභාග පාස්කර බොහෝ ජයග්‍රහණ  අතකරගත්තද  තමන්ට  අත්කර ගතනොහැකි, තමන්ට විදිය ලගාවිය  නොහැකි  අන්තයන් ඔවුහු පන්තිය, පැලැන්තිය, බටහිර, ඉංග්‍රීසි භාෂාව සහ ක්‍රිස්තියානි ආගම වර්ගීකරණය කර එයට  එරෙහිව  රෝද බැදගැනීම ලංකාවේ නිදහසින් පසුව බිහිවූ, සිංහල භාෂාවෙන් සිප්සතර හදාරා රජයේ රැකියාවලට ඇතුළුවූ දෙමාපියන්ට පමණක් නොව, ඔවුන්ගේ දැඩි කැපයීම තුල  ප්‍රසිද්ධ පාසල්වලට යවා, ඉංග්‍රීසි උගන්වා උසස් රැකියාවට උසවා තැබු ඔවුන්ගේ දරුවන්ටද, පරිඝනක, සෙල්ෆෝන් ආදිය  හසුරුවන  ඔවුන්ගේ  දරුවන්ගේ  දරුවන් දක්වා පැමිණ  තිබෙන බව පැහැදිලිය.

චම්පික රණවක මහතා නව  දේශපාලන  පෙරමුණක් පිහිටවීමට සදහා හෙළ උරුමයෙන් ඉවත්වෙමින් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ටය. නිදහසින් පසු බිහිවූ සිංහලෙන් අධ්‍යාපනය ලබා විවිධාකාරයෙන් සාර්ථකත්වයන් අත්කරගත් නව සිංහල – බෞද්ධ මධ්‍යම පාන්තිකයටය. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නය වන ඔවුන් අත්නොවිදින එහෙත් අනෙකා අත්විදින සතුට අත්කරගන්නේ කෙසේද යන්න  ආමන්ත්‍රණය කිරීමය. එකී සතුට  අතකරගත හැකි දේශපාලන  ව්‍යාපාරයක් සහ රාජ්‍යයක් ගොඩනැගීම චම්පික රණවක මහතා සිය දේශපාලන අහිලාෂය කරගෙන තිබේ.

චම්පික රණවකලාගේ  මේ ඇරියස් කවකර ගැනීමේ  ව්‍යාපාරය  විවිධ  කාලවල  විවිධ ආකාරයෙන් ක්‍රියාවට  නැන්වුහ. විටක එය ඊළාම් විරෝධයක් ඔස්සේ  දෙමළ විරෝධයක් දක්වා ද, තවත් විටක එය  සිංහල  ව්‍යාපාර යන  ප්‍රවර්ධනය  කිරීමේ අරමුණින්  මුස්ලිම්  විරෝධයක්  දක්වාද  වර්ධනය විය. හෙළ උරුමයෙන් ඉවත්වෙමින්  චම්පික රණවක මහතා සිදුකල කතාවේදී  තවත්  විරෝධයක් ප්‍රවර්ධනය  කිරීමට කටයුතුකරන  බවක්ද  පෙනී  යයි. එනම්  ක්‍රිස්තියානි  විරෝධය ය. 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ  කතෝලික- ක්‍රිස්තියානි පල්ලි බවත් එය 1960 දශකයේ ක්‍රිස්තියානි  පාසැල්  ආණ්ඩුවට  පවරාගැනීමට  එරෙහිව  සිරිමාවෝ බණ්ඩාරනායක රජය  පෙරලීමට  කල කුමන්ත්‍රණයක්  ලෙස ඔහු දක්වා  තිබුණි. මෙය  හිතා මතාම  කරුණු  විකෘතිකර  මහජනයා  නොමග  යැවීමට  කෙලි පචයකි. 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණය පල්ලිවල කිසිදු සම්බන්දයක්  නොතිබි බවත්, එය  කිසිසේත්ම  ක්‍රිස්තියානි පාසල් ආණ්ඩුවට පවරාගැනීමට එරෙහිව ඇතිවුවක් නොවන  බවත් එම  කුමන්ත්‍රණය  පිලිබදව සිදුකල  අධිකරණ  විමර්ශනයේදී මෙන්ම අනෙකුත් පරීක්ෂන  සහ අධ්‍යනවලින්ද හෙළිවිය.

කරුණු  එසේ තිබියදී  ප.ච. රණවක  හෙවත්  පඨලී චම්පක  රණවක මෙවැනි  මහජනයා  නොමග යවන  ප්‍රකාශ  කරන්නේ  ඇයි? පැහැදලිවම නම් ඔහුගේ  ඇරියස් කවර් කරගැනීමටය. ඔහුට /ඔවුන්ට භුක්තිවිදිය නොහැකි එහෙත්  අනෙකා  භුක්තිවිදින සතුට විනාශ කරලීමය. එහිලා ඔවුන්  ප්‍රවර්ධනය  කරන දෘෂ්ටිවාදය නම් ලංකික ශිෂ්ටාචාරය ගොඩනැගුවේ සිංහල-බෞද්ධයන්ය, ලාංකික අනන්‍යතාවයේ පදනම සිංහල-බෞද්ධ සංස්කෘතිය ය යන්නය.

එහෙත් අපි විශ්වාස කරන්නේ  කිසියම්  ශිෂ්ටාචාරයක්  හෝ සංස්කෘතියක් එක ජාතියකට  ආගමකට ලඝු කල නොහැකි බවය. සෑම ශිෂ්ටාචාරයක්ම  හෝ සංස්කෘතියක්ම අනෙක් ශිෂ්ටාචාරයන්ගෙන්  හෝ සංස්කෘතියන්ගෙන් පෝෂණයවූ  පොදු මිනිස්  ශිෂ්ටාචරයටම  පොදුවුවක්ය  යන්නය. එහෙත්  ඒ බව නොතකමින් සිය  බලය ව්‍යාපෘතිය වෙනුවෙන්  සිංහල-බෞද්ධ ස්වොත්මක ජාතිකවාදී (chauvinistic nationalism) දෘෂ්ටිවාදයක් සහ වැඩපිළිවෙලක් භාවිතාකරන ප.ච. රණවකලා  දැන් පටන්ම  හින්දු, මුස්ලිම් , ක්‍රිස්තියානි ආදී සෙසු ජාතීන් සහ අනන්‍යතාවයන් ලාංකික ශිෂ්ටාචාරය නම්වූ  සිංහල-බෞද්ධ මහා වෘක්ෂයේ එතුන ‘වැල්’ ය යනුවෙන් දක්වමින්, එකී  සිංහල-බෞද්ධ නොවන අනෙකුත් ජන කණ්ඩායම් නම් ‘වැල්’ වලට හොදින් වැඩී, මල්පල ගැන්වීමට තරම් ‘සිංහල-බෞද්ධ ජනයාගේ සහනශීලීත්වය’ ඉඩ ප්‍රස්ථාවක් තුල යයි දක්වමින්, සෙසු ජාතීන් සහ සංස්කෘතික අන්‍යයතාවයන් එකී  ‘සිංහල-බෞද්ධ සහනශීලීත්වය’ හොදින් අවබෝධකර ගතයුතු බවත් දක්වමින්  අනතුරු අගවමින්  සිටීම.

අප මෙම  අනතුරු ඇගවීම  කිසිසේත්ම  බැහැර  කල යුතු නොවේ.

මාකස් ප්‍රියන්ත  පෙරේරා

Social Sharing
නවතම විශේෂාංග