රනිල්ගේ කෝටි හාරදාහේ කතා බොරු : පවිත්‍රා

මාධ්‍ය වෙත  විශේෂ ප්‍රකාශයක්   කරමින් ජුනි 11 බ්‍රහස්පතින්දා   සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ   ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට  ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම නවයක මුදලක් පමණක් බවයි.

සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය හොබවා ඇති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ  මහ මැතිවරණය සදහා තරග කරන කළුතර සහ මාතර දිස්ත්‍රික් නියෝජිතයන් පිරිසක් අමතමින් ජුනි 10 දින  සිරිකොත එජාප මුලස්ථානයේදී පවසා තිබුනේ ලංකාවේ කොරෝනා වෛරසය පාලනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ඩොලර් මිලියන 230 ක් ලබා දී ඇති බවයි.

එජාප නායකයාගේ එම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබුනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රසියා පෙන්ඩ්සේ (Dr.Razia Pendse) විසින්  තමා වෙත එවන ලද බව පැවසෙන වාර්තාවක් මාධ්‍ය වෙත ද  ඉදිරිපත් කරමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය කළේ මේ දක්වා එම සංවිධානයෙන් මෙරටට  ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම නවයක මුදලට අමතරව තවත් ඩොලර් මිලියන 2.3 මුදලක් ඉදිරි වර්ෂය සදහා වියදම් කිරීමට නියමිතව ඇති බවක් එහි  සදහන්ව  ඇති බවයි.

ඩොලර් මිලියන දෙකක මුදලක් ලැබුන විට ඩොලර් මිලියන 230 ක් ලබා දුන් බව රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් ලෙස අමාත්‍යවරිය බැහැර කළාය.

“එතුමා මේ වෙලාවේ පත් වෙලා තියන දේශපාලන වියවුල් තත්වය නිසා මේ ලබා දුන් මුදල   සිය ගුණයක් වැඩි කරලා ප්‍රකාශ කරන්න ඇතියි කියලා මා විශ්වාස කරනවා” අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩි දුරටත් සදහන් කළාය.

කොරෝනා  වෛරස මර්දන හා ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල සහ සෞඛ්‍ය ආරක්ෂිත  උපකරණ තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ විසින්  සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කළ බව මාධ්‍ය විසින් මැයි  6 වැනි දින වාර්තා කර තිබුනි.

Social Sharing
නවතම