
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත්ව තිබේ.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයේදී රුමේෂ් සිය දෙවැනි උත්සාහයේදී මීටර් 89.75ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් 6 වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනාගත් රන් පදක්කමෙන් වසර 20කට පසු ශ්‍රී ලංකාවට හිමි වූ පළමු රන් පදක්කම ද වේ.
එමෙන්ම, 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඩන්කන් වයිට් පිරිමි යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමෙන් වසර 76කට පසු, මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට හිමි වූ පළමු රන් පදක්කම ලෙස ද මෙම ජයග්‍රහණය ඉතිහාසගත වී ඇත.
මෙම තරගයේදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කළ 2021 ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඉන්දියාවේ නීරාජ් චොප්රා මීටර් 85.83ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනාගත් අතර, ඉන්දියාවේම යෂ් වීර් සිං මීටර් 85.41ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
රුමේෂ් තරංග පතිරගේගේ මෙම රන් පදක්කමත් සමඟ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් තිබේ.
ඊට පෙර, පසුගිය බ්‍රහස්පතින්දා පැවති පැරා කවපෙත්ත විසිකිරීම (F42-44/F61-64) ඉසව්වේදී ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
