සිය දිවි නසා ගැනීම් වැලැක්වීම හා උපදේශනයේ වැදැගත්කම

සියදිවි නසා ගැනීම් වැළැක්වීම හා උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ සඳහා පාර්ශ්ව කීපයකගේ අවධානය යොමු විය යුතුය. සියදිවි නසා ගන්නා වූ පුද්ගලයන්ගේ මනස තුළ නිතර ම ගමන් කරන්නේ පරාජිත වූ චිත්ත වේගයන්ය. එනම් ඒ තත්ත්වය නැති කරලීම මූලික වශයෙන් සිදු කළ යුත්තකි. සියදිවි නසා ගන්නා පුද්ගලයන් හා ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයන් ඔවුන් වටා සිටින පුද්ගලයන්ගෙන් නොකියා ඉල්ලා සිටින්නේ ඔවුන් වෙත අවධානය යොමු කරන ලෙසය. සියදිවි නසා ගන්නා වූ පුද්ගලයන් මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමට හැකියාවක් පවතින්නේ නම් ඔවුහු හෝ ඇය එම තත්ත්වයෙන් මුදා ගැනීමට හෝ සියදිවි නසා ගැනීමේ අදහස් වෙනස් කිරීමට ලෙහෙසියෙන් හැකියාවක් ඇත. සියදිවි නසා ගන්නට උත්සාහ දරන පුද්ගලයන් ඔවුන් වටා සිටින සමීපතමයන් හෝ ඔවුන් ආශ්‍රය කරන පුද්ගලයන්ට විවිධ ඉඟි මගින් අදහස් දක්වනු ලබයි. ඒ අනුව

” මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ”
” තවත් නම් මට මේ දුක උහුලන්න බෑ”
” ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ”
” මට මැරෙන්නමයි හිතෙන්නේ”
” මං මැරුණට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ”
” මං මැරුණට පස්සේ ඔයාලට සතුටින් ඉන්න පුළුවන්”
” මං මැරෙන කන්නේ ඔක්කොම බලාගෙන ඉන්නේ”

මෙවැනි ප්‍රකාශ සියදිවි නසා ගන්නා පුද්ගලයන් නිතර දෙවේලේ තම සමීපතමයන් හෝ ආශ්‍රය කරන පුද්ගලයන්ට ඉගි මගින් හෝ අදහස් මගින් ප්‍රකාශ කළ හැකිය. එමෙන්ම සියදිවි නසා ගන්නා වූ පුද්ගලයන් අසාමාන්‍ය චර්යාවන් නිතර නිතර පෙන්නුම් කරයි. (අසාමාන්‍ය චර්යාවන් පෙන්නුම් නොකර ද ක්ෂණිකව) තීරණ ක්‍රියාත්මක කරන පුද්ගලයෝ ද වෙති. සියදිවි නසා ගැනීම වැළැක්වීම ප්‍රධාන කොටස් දෙකක් අනුව සලකා බලනවිට,

1. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව සිදු කරන ප්‍රතිකාරය
2. සියදිවි නසා ගැනීම වැළැක්වීම

සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම සිදු කරන පුද්ගලයන් පිළිබඳව මුල් අවස්ථාව තුළ දැන ගැනීමක් සිදු වූ අවස්ථාවේ දීම එම පුද්ගලයා ඔහු හෝ ඇය තනි නොකර සිට ඔවුන්ගේ චිත්ත වේගයන් වෙනස් කිරීමට කටයුතු කළ යුතුය. එමෙන්ම සියදිවි නසා ගැනීම සඳහා උත්සාහ කළ පුද්ගලයන්ගේ සමීප ඥාතීන්ට අවශ්‍ය උපදේශනය සැපයීම ද සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයක් වේ.

සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව සිදු කරන ප්‍රතිකාර අතර අවධානය යොමු කිරීමේදී එම පුද්ගලයන්ගේ ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක පැතිකඩ දෙස අවධානය යොමු කර ජීව විද්‍යාත්මක සාධකවලට අනුව මොළයේ ස්නායු සම්ප්‍රේෂක අසමතුලිතාවයක් වී ඇත්නම් එයට මනෝ වෛද්‍යවරුන් හරහා වෛද්‍ය ප්‍රතිකාර මූලික අවස්ථාව තුළදී ලබාදිය යුතුයි. පසුව සියදිවි නසා ගන්නා වූ පුද්ගලයන්ගේ මානසිකත්වය වෙනස් කිරීම සඳහා මනෝ විද්‍යාත්මක මනෝ ප්‍රතිකාරයන් හා මනෝ සමාජීය ප්‍රතිකාරයන්ද ලබාදිය යුතුයි.

සියදිවි නසා ගැනීමට උත්සහ දරා පසුව දිවි බේරාගත් පුද්ගලයන් සඳහා ප්‍රජනන චර්යා ප්‍රතිකාර ක්‍රමය ඉතා වැදගත් වේ.

පොදුවේ සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා පාසල්, විශ්ව විද්‍යාල, ආගමික ආයතන, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගෙන සියදිවි නසා ගැනීම් ලබා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ඉදිරිපත් කළ හැකිය. විශේෂයෙන් වර්තමානය වන විට තරුණ තරුණියන්ගේ සියදිවි නසා ගැනීම් ඉහළ යෑමක් දක්නට ඇති නිසා ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ඔවුන්ගේ චිත්ත වේගයන් කළමනා කරණය කරගන්නේ කෙසේද යන විවිධ වැඩසටහන් කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දිය හැක. මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මගින් සියදිවි නසා ගැනීම් පිළිබඳව හා ඒවා වැළැක්වීම පිළිබඳව කරුණු සමාජගත කළ යුතුයි. සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා අන්තර් පුද්ගල සම්බන්ධතාවන් ගොඩනඟා ගන්නේ කෙසේද යන වැඩසටහන් නිතර සමාජ ගත කළ යුතුයි. සියදිවි නසා ගන්නා වූ පුද්ගලයන් එම තත්ත්වයෙන් වළක්වා ගැනීම සඳහා ඔවුන් විඳින පීඩාකාරී මානසික තත්ත්වයන් හඳුනාගෙන ඒවාට අදාළ කරන නිසි පිළියම් දැනුවත් කළ යුතුය.

විශේෂ වූ කාරණාව නම් සියදිවි නසා ගන්නට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳව නිතර දෙවේලේ අවධානය යොමු කළ යුතුය. ඔවුන් තනි නොකළ යුතුය. ඔවුන්ට නිතරම ධනාත්මක අභිප්‍රේරණය ලබාදිය යුතුය. පරාජිත හැඟීම් හා සෘණාත්මක චින්තනයන් නැති කිරීමට සමීපතමයන් වග බලාගතයුතුය. මේ තුළින් සියදිවි නසා ගැනීම් වළක්වා ගත හැකිය.

කේ. පියුමි තරුෂිකා

උපුටා ගැනීම දිවයින

Social Sharing
නවතම පුවත්