
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ දින (27 වැනිදා) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට නීති හා අධිකරණ ක්ෂේත්‍රය තුළ පුළුල් සංවාදයක් මතුව ඇති අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක් ඊට විරෝධය පළ කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැයි 25 වැනිදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දැනුම් දී තිබිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ජූලි 22 වැනිදා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් යෝජිත වෙනසට දැඩි විරෝධය පළ කර තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් ඉදිරි වසර දෙක තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණ දක්වා පවතින උසස්වීම් ක්‍රියාවලියට බාධා ඇතිවිය හැකි බව එම සංගමය පෙන්වා දෙයි. එමගින් වෘත්තීය විනිසුරුවරුන්ගේ අභිප්‍රේරණයට මෙන්ම අධිකරණ සේවයට දක්ෂ තරුණ නීතිඥයින් එක්වීමට ද අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, ස්ථාවරත්වය සහ ඒ පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා මෙම යෝජනාව නැවත සලකා බලන ලෙස ද අධිකරණ සේවා සංගමය ඉල්ලා තිබේ.
මේ අතර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආරම්භක විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පෙන්වා දී ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් මූලික වශයෙන් විරුද්ධ නොවන නමුත්, එය දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට අදාළ කිරීම ගැටලුකාරී බවය.
එවැනි වෙනසක් සිදුකරන්නේ නම් එය ඉදිරියේදී පත්වන විනිසුරුවරුන්ට අදාළ වන පරිදි ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දී තිබේ. දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැක සහ විවේචන ඇති කිරීමට හේතු විය හැකි බව ද ඔහුගේ අදහසයි.
හිටපු ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ඉදිරිපත් කර තිබේ.
නඩු ගොඩගැසීම අවම කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන් සේවයේ තබා ගැනීම මෙහි අරමුණක් ලෙස ඉදිරිපත් කළද, විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් එම ගැටලුවට ප්‍රමාණවත් විසඳුමක් නොලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම, පුළුල් පාර්ශ්වකරුවන්ගේ සහ මහජන අදහස් විමසීමකින් තොරව මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනසක් සිදුකිරීම අධිකරණයේ ස්වාධීනත්වය හා මහජන විශ්වාසය සම්බන්ධයෙන් දිගුකාලීන ගැටලු ඇති කළ හැකි බව ද ඔහු සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, යෝජනාවට පක්ෂව ද අදහස් ඉදිරිපත් වී තිබේ.
නීතිඥ වරුණ ගුණරත්නගේ අදහස වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 දක්වා දීර්ඝ කළ යුතු අතර, ඊට සමගාමීව පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ද දීර්ඝ කළ යුතු බවය.
සංවේදී සහ දීර්ඝ නඩු විභාග අතරතුර විනිසුරුවරුන් විශ්‍රාම යෑමෙන් නඩු කටයුතුවල අඛණ්ඩතාවට බලපෑම් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි. විනිසුරුවරුන්ට පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගේ ද විශ්‍රාම වයස පිළිබඳ නැවත සලකා බැලීමක් අවශ්‍ය බව ඔහුගේ අදහසයි.
ඒ අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබුණද, එය ක්‍රියාත්මක කරන ආකාරය, අධිකරණයේ ස්වාධීනත්වයට ඇති විය හැකි බලපෑම්, උසස්වීම් ක්‍රියාවලිය සහ නඩු ප්‍රමාදය පිළිබඳ ගැටලු හේතුවෙන් මෙම යෝජනාව ඉදිරියේදී තවදුරටත් දැඩි සංවාදයකට ලක්වනු ඇත.
මුලාශ්‍ර BBC සිංහල
