ඉසුරු නෙත්ති කුමාර හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා ලෙස ස්ථාන මාරු!

අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස සේවය කළ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඉසුරු නෙත්ති කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

සාමාන්‍යයෙන් දුෂ්කර සේවා ස්ථානයක් ලෙස සැලකෙන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට පත් කරනු ලබන්නේ පළමු පත්වීම් ලැබූ කනිෂ්ඨ ශ්‍රේණියේ මහෙස්ත්‍රාත්වරුන් හෝ දඬුවම් මාරුවීම් ලැබූ මහෙස්ත්‍රාත්වරුන් බව සඳහන් වේ. එවැනි අධිකරණයකට අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඉසුරු නෙත්ති කුමාර මහතා ස්ථාන මාරු කිරීම විශේෂ අවධානයට ලක්ව ඇත.

මීට පෙර හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා ලෙස දඬුවම් මාරුවක් මත සේවය කළ යසරුවන් නෙළුම්දෙණිය මහතාගේ සේවය අධිකරණ සේවා කොමිසම විසින් අත්හිටුවීමෙන් අනතුරුව, විදේශ ශිෂ්‍යත්වයක් නිමවා මෙරටට පැමිණි අරවින්ද ගුණරත්න මහතා තාවකාලික පදනමින් එම ධුරයට පත් කර තිබුණි.

ඉසුරු නෙත්ති කුමාර මහතා මීට පෙර කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් ආන්දෝලනාත්මක නඩු කිහිපයක් විභාග කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර, පසුව ඔහු  අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස පත් කරනු ලැබීය.

නව ස්ථාන මාරුව අනුව, ඉසුරු නෙත්ති කුමාර මහතා හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා ලෙස පත් කර ඇති අතර, ඒ හේතුවෙන් පුරප්පාඩු වූ අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරයට මෙතෙක් හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ අරවින්ද ගුණරත්න මහතා පත් කර තිබේ.

Social Sharing
නවතම පුවත්