බන්ධනාගාර තදබදය අවම කිරීමට ගන්නා පියවර අධිකරණ ඇමති පැහැදිලි කරයි.

බන්ධනාගාරවල අධික තදබදය ඇති වීමට බල පෑ කරුණක් වන්නේ 2022දී : විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතට හඳුන්වා දුන් සංශෝධනය හා රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

“එම සංශෝධනයට කලින් මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් දෙකට වැඩි නම් මහාධිකරණයට ඇප ලබා දීමේ බලය තිබුණා. ඒත්, 2022 සංශෝධනයෙන් පසු මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10ට වැඩි නම් ඇප ලබා ගැනීමට අභියාචනාධිකරණයට යාමට සිදු වෙනවා. දුරබැහැර පුද්ගලයකු සම්බන්ධයෙන් වුණත්, ඇප ලබා ගැනීම සඳහා කොළඹ එන්නට සිදු වෙනවා.”

මෙහිදී, මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ලබා ගැනීම සඳහා අදාළ රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීමට මාස හයක් පමණ ගත වන බව ද, යොමු කළ යුතු අධිකරණය ඒ අනුව තීරණය කර එම අධිකරණයෙන් ඇප ලබා ගැනීමට තවත් මාස හයක් පමණ ගත වන බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. “අහු වුණේ කුඩු ද, පැනඩෝල් කූඩු ද කියල දැන ගන්න කලින් මිනිහෙක් අවුරුදු එකහමාරක් පමණ රිමාන්ඩ් ඉන්න වෙනවා,” යි ඔහු පෙන්වා දුන්නේය.

2022න් පසු රස පරීක්ෂක දෙපාර්තමෛ්න්තුවට අවශ්‍ය නිලධාරීන් බඳවාගෙන නැති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. “අප බලයට එන විට පුරප්පාඩු 118යි. පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා 72ක් බඳවාගෙන තිබෙනවා. 10ක් බඳවා ගන්නට බැරි වී තිබෙනවා. සුදුසුකම් නැති නිසා අයදුම් කිරීම අඩුයි. ඒ නිසා රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා.”

ශුද්ධ බර නොව, දළ බර අනුව ඇප ලබා දිය හැකි අධිකරණය තීරණය කළ හැකි වන පරිදි 2022 සංශෝධනය වෙනස් කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව ඇමතිවරයා පැවසීය.”දළ බර ග්‍රෑම් 100ට වැඩි නම් ඇප ලබා ගැනීම අභියාචනාධිකරණය හරහා කළ යුතුයි. ග්‍රෑම් 100ට අඩු දළ බර සම්බන්ධයෙන් ඇප ලබා දීමේ බලය නැවත මහාධිකරණයට පවරනවා.”

ආණ්ඩුව විසින් ප්‍රශ්නයේ මූලය හා විසඳුම සොයාගෙන ඇති බව ද, මීගමුව ඛෙදවාචකය සිදු වූයේ විසඳීම සඳහා කටයුතු කරමින් සිටින අතරතුර බව ඇමතිවරයා පැවසීය.

තිබෙන බන්ධනාගාරවල තවත් 10,000කට පමණ ඉඩකඩ ලබා දීම සඳහා ඉදි කිරීම් මෙම දිනවල සිදු වන බව හර්ෂණ නානායක්කාර ඇමතිවරයා පැවසීය. “අපි බලයට එනකොට බන්ධනාගාරවල පුරප්පාඩු 1348ක් තිබුණා. අපි 401ක් බඳවා ගත්තා. තවත් 222ක් බඳවා ගනිමින් තිබෙනවා.තව 924ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගෙන තිබෙනවා.”

පුද්ගලයන් රිමාන්ඩ් කරනු වෙනුවට, නිවාස අඩස්සියේ තැබිය හැකි වන පරිදි පනතක් කෙටුම්පත් කිරීමට ද කමිටුවක් පත් කර තිබෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

Social Sharing
නවතම පුවත්