
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ බරපතළ නොසන්සුන්තාවයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් හත් දෙනා සහ රැඳවියන් 20 දෙනාගේ මෘතදේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා, මරණයට හේතු සඳහන් කරන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝග කර තිබේ.
එමෙන්ම, මරණකරුවන්ගේ පවුල්වල භාරකරුවන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වූ මෘතදේහ ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත ද අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළව මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ බරපතළ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් බරපතළ හා සුළු තුවාල ලබා තිබේ. එමෙන්ම බන්ධනාගාර දේපළවලටද සැලකිය යුතු හානි සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් විමර්ශනවල වත්මන් ප්‍රගතිය දැක්වෙන සවිස්තර වාර්තාවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
