
දශක ගණනාවක් තිස්සේ මෙරට පොදුජන ජීවිතය වෙලාගෙන තිබූ දණ්ඩ මුක්ති සංස්කෘතිය (වැරදි කළද දඬුවම් නොලැබීමේ සංස්කෘතිය) ක්‍රමයෙන් බිඳදමමින් පවතින අයුරු ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ දැකගත හැකිය. මෙය සිදුවන්නේ උසාවි, පොලිස් පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාවලිය හරහාය. මෙය පහසු කාර්යයක් නොවන අතර, ඒ සඳහා ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වන්නේ ඉන් දැඩි ප්‍රතිරෝධයක් ද ජනනය වන බැවිනි. ඉහළම මට්ටම්වල සිටින දේශපාලනඥයන් සහ අපරාධ ජාලයන් අතර පවතින සබඳතා පිළිබඳව දැනට අනාවරණය වෙමින් පවතින තොරතුරුවලින් පෙනීයන්නේ, දූෂණය හා අපරාධ සම්බන්ධයෙන් රජයට ලැබුණු මහජන ඡන්ද බලය දැන් නීති පද්ධතිය හරහා ක්‍රියාවට නැංවෙමින් පවතින බවයි. පසුගිය ජාතික මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ දූෂණයෙන් තොර රටක් සහ දශක ගණනාවක් තිස්සේ පැවති දණ්ඩ මුක්ති වාතාවරණය අවසන් කිරීම සඳහාය. ඔවුන් ඡන්දය දුන්නේ, දඬුවම් නොලැබීමේ සංස්කෘතිය වෙනුවට නීතියේ ආධිපත්‍යය යටතේ වගවීම ආදේශ කෙරෙන ක්රමවේදයක වෙනසක් (පද්ධතිමය වෙනසක්) වෙනුවෙනි. රට කොල්ලකා එය බංකොලොත්භාවයේ මඩගොහොරුවට ඇද දැමූවන් නීතියේ නිසි ක්‍රියාපටිපාටිය හරහා වගවීමට බැඳ තබනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළහ.
නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන සහ අධිකරණය විසින් විනිශ්චය කරනු ලබන නඩු තීන්දු පදනම් වී ඇත්තේ ස්ථිර සාක්ෂි මතය. දැන් ප්‍රසිද්ධියට පත්වන සාක්ෂිවලින් වැඩි ප්‍රමාණයක් මීට වසර කිහිපයකට පෙර සිටම තිබූ ඒවා වන අතර, ඒවා නීතිමය ක්‍රියාවලියට පවා ඇතුළත් වී තිබිණි. අතීතයේදී එම නඩු සාර්ථක අවසානයක් කරා ළඟාවීමට අපොහොසත් විය. විමර්ශනවල වේගය අඩාල වූ අතර, පැමිණිලි පාර්ශ්වයන්ට තිබූ සාක්ෂි නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි වූ බැවින් බොහෝ නඩු, සමහරක් තාක්ෂණික කරුණු මත, නිෂ්ප්‍රභ විය. 2019 සහ 2024 වසර අතර කාලය තුළ රජයේ බලධාරීන් විසින් නඩු 102ක් උසාවිවලින් ඉල්ලා අස්කර ගනු ලැබීය. දූෂණය සහ බරපතළ අපරාධ සිදුව ඇති බව මහජනතාව දැන සිටියහ, නැතහොත් දැඩි ලෙස විශ්වාස කළහ. උසාවියක් ඉදිරියේ වැරදිකරුවන් බව ඔප්පු කිරීමට සහ වගකිවයුත්තන් වගවීමට බැඳ තැබීමට අපොහොසත් වීම නිසා, දේශපාලන බලය මඟින් නීතිමය වගවීමෙන් ආරක්ෂාව සපයන බවක් පෙනෙන්නට තිබූ වාතාවරණයක් නිර්මාණය විය.
2024 මැතිවරණයට පෙර, යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන ‘මැතිවරණ සහ ප්රජාතන්ත්රවාදය සඳහා ක්‍රියාකාරී පුරවැසියන්’ (Active Citizens for Elections and Democracy) ව්‍යාපෘතිය යටතේ, ජාතික සාම මණ්ඩලය (National Peace Council) විසින් ‘ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ඡන්දදායකයන්ගේ කැමැත්ත මෙහෙයවන සාධක’ (Factors Guiding Voter Preference in Elections in Sri Lanka) මැයෙන් අධ්‍යයනයක් සිදුකරන ලදී. කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වන ආචාර්ය මහේෂ් සේනානායක සහ ක්‍රිෂ්ණි සිල්වා විසින් මෙහෙයවන ලද එම අධ්‍යයනයෙන් වගවීම සහ යහපාලනය සඳහා අතිමහත් මහජන සහයෝගයක් පවතින බව සොයාගන්නා ලදී. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 93ක් ආර්ථික අර්බුදය විසඳීම ඔවුන්ගේ ප්‍රධානතම මැතිවරණ සැලකිල්ල ලෙස හඳුනාගත් අතර, ඒ හා සමානව කැපීපෙනෙන සියයට 83ක පිරිසක් පැවසුවේ දූෂණයට එරෙහිව සටන් කිරීමට කැපවී සිටින අපේක්ෂකයන්ට තමන් ප්‍රමුඛතාව දෙන බවයි. එබැවින්, රජයට ලබා දී ඇති ජනවරම පොදුජන ජීවිතයට අවංකභාවය නැවත ඇති කිරීම සහ දිගුකාලීනව පැවති දණ්ඩ මුක්ති සංස්කෘතිය අවසන් කිරීම ලෙස අර්ථ දැක්විය හැකිය.
වෙනස් ප්‍රවේශයක්
අද වන විට පොලිසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය දූෂණය හා අපරාධ සම්බන්ධයෙන් පවතින දඬුවම් නොලැබීමේ තත්ත්වයන් දෙස අතීතයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින් ප්‍රවේශ වන බව දැකගත හැකිය. මීට පෙර උසස් තනතුරු දැරූ පුද්ගලයන් කිහිපදෙනෙකුම දැන් නිසි නීතිමය ක්‍රියාවලියට යටත් කර ඇති අතර, අවස්ථා ගණනාවකදී විවිධ මට්ටමේ අධිකරණ පද්ධතිවල පරීක්ෂාවෙන් පසු ඔවුන් වරදකරුවන් බවට පත්කර ඇත. දේශපාලනික වශයෙන් ප්රමුඛ පුද්ගලයන් සම්බන්ධ නඩු නිතරම ඉදිරියට පවත්වාගෙන යෑමට අපොහොසත් වූ හෝ අවසානයකට පැමිණීමට පෙර බිඳවැටුණු පෙර වසරවලට වඩා මෙය වැදගත් වෙනසකි. වත්මන් වගවීමේ ක්‍රියාවලියේ ශක්තිය පවතින්නේ, ලබාදී ඇති දඬුවම් මත පමණක් නොව, නීතියට ඉහළින් කිසිවකු නොසිටින බවට මහජනතාව තුළ ගොඩනැගෙමින් පවතින විශ්වාසය මතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජය ගෙන ආ යෝජනාවක් පිළිබඳ වාර්තා, වත්මන් වගවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවනු දැකීමට කැමති අයගේ සහයෝගයටත්, එය අධිකරණයට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස දකින අයගේ විරෝධයටත් හේතු වී ඇත්තේ මෙම සන්දර්භය තුළය.
දිගු ආයු අපේක්ෂාව සහ පළපුරුදු විනිසුරුවරුන් රඳවා තබාගැනීමේ වටිනාකම හඳුනාගනිමින් බොහෝ රටවල් අධිකරණ විශ්‍රාම වයස වැඩිකර ඇත. මෙය අධිකරණයට පමණක් සීමා නොවී ශාස්ත්‍රීය ක්ෂේත්රයට සහ රාජ්‍ය සේවයට ද ව්‍යාප්ත වී තිබේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ මතභේදයට හේතු වී ඇත්තේ එහි පසුබිම වන අතර, ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව පැමිණෙන්නේ දේශපාලනික වශයෙන් වැදගත් දූෂණ සහ අපරාධ නඩු උසාවි ඉදිරියේ විභාග වෙමින් පවතින අවස්ථාවක ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්න කිරීමට නායකත්වය දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය සලකා බලමින් සිටින බවට ලැබෙන වාර්තා පිළිබඳව “දැඩි කනස්සල්ලෙන් පසුවන” බව නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ. මෙම අවස්ථාවේදී දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයට මැදිහත් වීමේ උත්සාහයක් ලෙස මහජනතාව විසින් දැකීමට ඉඩ ඇති බවට එම සංගමය අනතුරු අඟවා ඇත.
එබැවින් නීතිඥ සංගමය විසින් මතු කරන ලද ප්‍රධානතම ගැටලුව වන්නේ, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය රැකගැනීමයි. නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවකදී ද පෙන්වාදුන්නේ, මෙම ගැටලුව ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගිය බලපෑමක් ඇති කරන බවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (Commonwealth Lawyers Association) සහ ‘ලෝඒෂියා’ (LAWASIA) සංවිධානයේ නියෝජිතයන් පිළිගත්තේ, දිගු ආයු අපේක්ෂාව සහ පළපුරුදු විනිසුරුවරුන් රඳවා තබාගැනීමේ වටිනාකම හඳුනාගනිමින් බොහෝ රටවල් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකර ඇති බවයි. ඔවුන්ගේ සැලකිල්ල තිබුණේ විශ්‍රාම වයස වැඩිකිරීම කෙරෙහි නොව, දේශපාලනික වශයෙන් වැදගත් දූෂණ නඩු උසාවි ඉදිරියේ පවතින අවස්ථාවක දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම කෙරෙහිය. එවැනි තත්ත්වයන් යටතේ, යහපත් චේතනාවෙන් කරනු ලබන ප්‍රතිසංස්කරණ පවා, රජයේ ජනවරම පක්ෂග්රාහී ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා අධිකරණයට බලපෑම් කරමින් සිටින බවට මහජන මතයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත.
විශ්වාසය පවත්වා ගැනීම
රජය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සමාන වැදගත්කමකින් යුත් අරමුණු දෙකක් ආරක්ෂා කර ගැනීමයි. පළමුවැන්න නම්, දූෂිතයන් සහ බරපතළ අපරාධවලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා වගවීමට බැඳ තැබීම සඳහා වූ මහජන ජනවරම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමයි. දෙවැන්න නම්, එම වගකීම පැවරී ඇති අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය කෙරෙහි මහජන විශ්වාසය පළුදු විය හැකි කිසිවක් සිදුනොකිරීම සහතික කිරීමයි. වත්මන් වගවීමේ ක්‍රියාවලියේ ශක්තිය පවතින්නේ ලබාගෙන ඇති දඬුවම් මෙන්ම, පරීක්ෂණ, චෝදනා සහ අධිකරණ තීන්දු නීතියට අනුකූලව සිදුවන බවට මහජනතාව තුළ ඇති කර තිබෙන විශ්වාසය මතය. දේශපාලනික වශයෙන් සංවේදී නඩු සාර්ථක අවසානයක් කරා ළඟාවූයේ කලාතුරකින් වූ යුගයක සිට ශ්‍රී ලංකාව බොහෝ දුරක් පැමිණ ඇත. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැකයන් මඟින්, වෙනත් ආකාරයකින් සැලකිය යුතු ආයතනික ජයග්‍රහණයක් වී ඇති දේ යටපත් කර දැමුවහොත් එය අවාසනාවන්ත තත්ත්වයක් වනු ඇත.
නීතිඥ සංගමය, විපක්ෂ දේශපාලන පක්ෂ සහ අන්තර්ජාතික නීති සංවිධාන විසින් ප්‍රකාශ කරන ලද කනස්සල්ල හමුවේ, යෝජිත සංශෝධනය පිළිබඳ සාකච්ඡාව පුළුල් කිරීම රජයට නුවණට හුරුය. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා බලගතු හේතුවක් තිබේ නම්, එම කරුණ මහජනතාව සහ පාර්ලිමේන්තුව හමුවේ තබා විවෘතව විවාද කළ යුතුය. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්, එය සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව තිබුණ ද, රජයේ පාර්ලිමේන්තු බහුතරය මත පමණක් පදනම් නොවිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනස්කම් සිදුකිරීම සඳහා රජයට පමණක් ඇති ඡන්ද සංඛ්‍යාව උපයෝගී කර ගැනීමෙන් පමණක් එහි නීත්‍යානුකූලභාවය හෝ විශ්වසනීයත්වය වැඩි නොවේ. එම වටිනාකම් ශක්තිමත් වනුයේ ඒවාට පෙර මහජන උපදේශනයක් පැවතීමෙන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ රේඛාවලින් ඔබ්බට ගිය සහයෝගයක් ලැබීමෙනි. ජාතික අවශ්‍යතාව වෙනුවෙන් වගකිවයුතු දේශපාලනයක නිරත වීමට නැඹුරුවක් පෙන්වා ඇති විපක්ෂයේ බොහෝ දෙනෙකුගෙන් ද්විපාර්ශ්වික දේශපාලන සහයෝගයක් බලාපොරොත්තු විය හැකිය.
ජනතාව ඡන්දය දුන්නේ ආණ්ඩුවක් වෙනස් කිරීමට පමණක් නොව ක්‍රමවේදයක් වෙනස් කිරීමටය. පොදු මහජන විශ්වාසය අපචාරයට ලක්කළ අය, මහජන විශ්වාසය දිනාගත් ආයතන හරහා වගවීමට බැඳ තබනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළහ. එම අපේක්ෂාව දැන් ඉටුවීමට පටන් ගෙන තිබේ. පුළුල් මහජන පිළිගැනීමක් නොමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් මඟින් එය අනතුරේ නොදැමිය යුතුය. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට බලගතු හේතුවක් ඇතැයි රජය විශ්වාස කරන්නේ නම්, ඔවුන් මුලින්ම එම කරුණ ජනතාවට පැහැදිලි කර දිය යුතු අතර දූෂණයට එරෙහිව සහ යහපාලනය වෙනුවෙන් අවංකව පෙනීසිටින විපක්ෂයේ අය සමඟ පාර්ලිමේන්තුවේ ද්විපාර්ශ්වික සහයෝගයක් ලබාගැනීමට උත්සාහ කළ යුතුය. අභියෝගය වන්නේ නීතියට ඉහළින් කිසිවෙකු නොසිටින බව සහතික කරන අතරම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමයි. මෙම අභියෝගය ජය ගැනීම ශ්‍රී ලංකාවේ දඬුවම් නොලැබීමේ සංස්කෘතියේ සිට වගවීමේ සංස්කෘතියක් කරා යන සංක්‍රාන්තිය ස්ථිර එකක් බවට පත්කරලීමේ ස්ථිරම මඟයි.
