
බදු සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කර, බදු ගෙවීම රටේ සංවර්ධනයට සහ ජනතා සුබසාධනයට සෘජුවම දායක වන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ‘ජාතික බදු සතිය – බදු ශක්ති 2026’ අද (06) ආරම්භ කෙරේ.
මෙම වැඩසටහන ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව එය සංවිධානය කරයි.
ජාතික බදු සතියේ සමාරම්භක උත්සවය අද ජනාධිපති කාර්යාලයේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ බදුකරණය පිළිබඳ පවතින ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කිරීම, ස්වේච්ඡාවෙන් බදු ගෙවීමේ සංස්කෘතියක් රට තුළ ප්‍රවර්ධනය කිරීම, බදු පදනම පුළුල් කිරීම තුළින් එක් පුද්ගලයෙකු මත පවතින බදු බර අවම කිරීම සහ අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය ශක්තිමත් කිරීමයි.
ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා පිහිටි ආදායම් කාර්යාල මගින් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, බදු ගෙවන්නන් සඳහා විශේෂ සම්මන්ත්රණ, ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් බදු අනුකූලතා ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව, ජූලි 11 සහ 12 යන දෙදින තුළ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය සඳහන් කරයි.
