
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මඟින් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) හඳුනාගෙන ඇති බරපතළ අඩුපාඩු රඳවාගෙන තිබීම පමණක් නොව, ඒවා තවදුරටත් පුළුල් කරමින් නව මානව හිමිකම් අවදානම් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.
OHCHR පෙන්වා දෙන්නේ, කෙටුම්පතේ අඩංගු අපැහැදිලි හා පුළුල් නිර්වචන හේතුවෙන් අනවශ්‍ය ලෙස පුද්ගලයන් වරදකරුවන් කිරීමේ අවදානමක් පවතින බවයි. එමෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ, සාමකාමී රැස්වීම් පැවැත්වීමේ, සංගම් පිහිටුවීමේ සහ මාධ්‍ය නිදහස සීමා වීමෙන් සිවිල් ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද එම ආයතනය සඳහන් කරයි.
සීමිත අධීක්ෂණයකින් යුත් පුළුල් විධායක බලතල, අභිමතය පරිදි අත්අඩංගුවට ගැනීම් හා දීර්ඝකාලීන රැඳවුම් භාරය, වධහිංසා, අමානුෂික සැලකීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට බලපෑම් එල්ල විය හැකි බවද OHCHR අවධාරණය කර ඇත.
කෙසේවෙතත්, විවිධ පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් රජය මේ වන විට ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ නැවත කෙටුම්පත් කරමින් සිටින බවද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීතිමය රාමුව අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සැලකිය යුතු සංශෝධන සිදු කළ යුතු බව OHCHR අවධාරණය කරයි. එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් යළි සිදු නොවන පරිදි නව නීතිය සකස් කළ යුතු බවද පෙන්වා දෙයි.
නව කෙටුම්පත තුළ පොලිස් අත්අඩංගුවේදී ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ දෙන ප්රතිපාදනය ඉවත් කිරීම වැනි ප්රගතිශීලී වෙනස්කම් ඇතුළත් වුවද, තවමත් අන්තර්ජාතික මානව හිමිකම් නීතියට පටහැනි ප්‍රතිපාදන රැසක් එහි අඩංගු බව OHCHR සඳහන් කරයි.
එබැවින්, දැනට පවතින කෙටුම්පත සැලකිය යුතු ලෙස ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, සිවිල් සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ විවෘත හා සියල්ලන් ඇතුළත් උපදේශන ක්‍රියාවලියක් ඔස්සේ නව නීතිය සකස් කරන ලෙසත් රජයෙන් ඉල්ලා තිබේ.
මීට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස කළ පෙර ඉල්ලීමද OHCHR නැවත අවධාරණය කර ඇත.
OHCHR පෙන්වා දෙන්නේ, යෝජිත කෙටුම්පතේ ‘ත්‍රස්තවාදය’ සහ ‘ත්‍රස්තවාදී ක්‍රියාව’ යන නිර්වචන අන්තර්ජාතික ප්‍රමිතීන්ට වඩා පුළුල් සහ අපැහැදිලි ලෙස සකස් කර ඇති බවයි. ඒ හේතුවෙන් මරණය, බරපතළ ශාරීරික හානි හෝ ප්‍රාණ ඇපයට ගැනීම් වැනි බරපතළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට පමණක් සීමා විය යුතු ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනය පුළුල් වී, මානව හිමිකම් ආරක්ෂාවට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවද එම ආයතනය අනතුරු අඟවා තිබේ.
