
මරණ දඬුවම නියම වී පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටු කිහිපයක් විසින් නිර්දේශ කරන ලද සිරකරුවන් 154 දෙනෙකු වසර හතරකට අධික කාලයක් ගතවී තිබියදීත් තවමත් බන්ධනාගාරගතව සිටින බව ඔවුන්ගේ ඥාතීහු පවසති.
ඔවුන්ගේ චෝදනාව වන්නේ, මෙම නිර්දේශ සකස් කිරීම සඳහා පත් කළ කමිටු වෙනුවෙන් රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් වැය කළද, එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස ලබාදීම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම මුදල ද අපතේ ගොස් ඇති බවයි.
ඥාතීන් පවසන පරිදි, මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් 262 දෙනා අතරින් 154 දෙනෙකු 2022 මාර්තු මාසයේ පොදු සමාව යටතේ නිදහස් කිරීමට තෝරාගෙන තිබුණද, එවකට පැවති දේශපාලන තත්ත්වය හේතුවෙන් එම ක්‍රියාවලිය අතරමඟ නතර වී ඇත.
ආරම්භයේදී සිරකරුවන් 184 දෙනෙකු පොදු සමාව සඳහා තෝරාගෙන තිබූ අතර, අවසන් නිර්දේශ ලබාගැනීමේදී දඬුවම් නියම කළ විනිසුරුවරුන්ගේ අදහස් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් සිරකරුවන් 30 දෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදු වූ බවද ඔවුහු පවසති. එයට හේතුව ලෙස අදාල විනිසුරුවරුන් මිය යාම, රෝගාතුර වීම හෝ විදේශගත වී සිටීම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම පොදු සමාව ක්‍රියාවලිය ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධිකරණ අමාත්‍යාංශය විසින් මෙහෙයවූ එකක් වන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව එයට අවශ්‍ය පහසුකම් සැපයීම පමණක් සිදු කළ බවයි.
තවද, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එම ක්‍රියාවලියට බලපෑම් කිරීමට හෝ අවසන් තීරණ ගැනීමට බලයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම ලංකාදීප
