සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බදු සහන!

එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අයකරනු ලබන වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට අයවැයෙන් ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබේ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (23) පාර්ලිමේන්තුව අමතමින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

අදාළ යෝජනාව අනුව VAT සහ SSCL බදු අයකිරීම සඳහා පවතින වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා පහළ දැමීමට සැලසුම් කර තිබූ අතර, එය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පැවති ඉහළ පෙළේ සාකච්ඡා සහ සමාලෝචනවලින් අනතුරුව එම යෝජනාව ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“අමාත්‍ය මණ්ඩලයේ සහ නීතිපතිවරයාගේ අදාළ අනුමැතිය මෙන්ම පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ නිර්දේශ ද ලැබීමෙන් පසුව අප මෙම යෝජනාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා,” යැයි නිශාන්ත ජයවීර මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, මීට පෙර මෙවැනි බදු සංශෝධන සිදු කළ යුතු බවට බල කළ විපක්ෂය, රජය එම බදු ලිහිල් කිරීමේ තීරණය ගත් අවස්ථාවේදී ඊට විරෝධය පළ කරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

මෙම තීරණය හේතුවෙන් VAT සහ SSCL බදු පද්ධතියට ඇතුළත් වීමට නියමිතව තිබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් එම බදු බරෙන් නිදහස් වන අතර, ව්‍යාපාරික ක්ෂේත්‍රයට සැලකිය යුතු සහනයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Social Sharing
නවතම පුවත්