ක්‍රීඩා පුහුණුකරුගේ සහ නේවාසිකාගාර පාලිකාවගේ එල්ලවන වධහිංසා ඉවසාගත නොහැකිව දරුවන් නේවාසිකාගාරයෙන් පළා යයි.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රීඩා නේවාසිකාගාරයේ නේවාසිකව සිටි සිසුන් කිහිප දෙනෙකුට ක්‍රීඩා පුහුණුකරු සහ නේවාසිකාගාර පාලිකාව විසින් කායික හා මානසික පීඩන එල්ල කළ බවට දෙමාපියන් චෝදනා කරති. එම සිදුවීම් පිළිබඳ පාසල් පරිපාලනය සහ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළද සාධාරණ පරීක්ෂණයක් සිදු නොකළ බවත්, ඒ වෙනුවට සිසුන් කිහිප දෙනෙකු පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔවුහු පවසති.

මෙම සිදුවීම්වලට මුහුණ දුන් එක් සිසුවෙකුගේ මව සඳහන් කළේ, තම පුතා ක්‍රීඩා කුසලතා හේතුවෙන් එම පාසලට ඇතුළත් කළ අතර, නේවාසිකාගාරයේ රැඳී සිටින කාලය තුළ ක්‍රීඩා පුහුණුකරු විසින් නිතර පරුෂ වචන භාවිත කරමින් මානසික පීඩනයක් එල්ල කළ බවයි. ඇය වැඩිදුරටත් කියා සිටියේ, නේවාසිකාගාරයේ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්ද ගැටලු පැවති බවත්, නේවාසිකාගාර පාලිකාව ලෙස කටයුතු කරන පුහුණුකරුගේ බිරිඳගේ පෞද්ගලික කටයුතු සඳහා ද සිසුන් යොදාගත් බවට තම පුතා පැවසූ බවත්ය.

එමෙන්ම, නේවාසිකාගාරයේ තවත් සිසුවෙකු විසින් තම පුතාට පහර දීමේ සිද්ධියකින් පසුව දරුවා මානසිකව දැඩි පීඩාවට පත්වී නේවාසිකාගාරයට යාම ප්‍රතික්ෂේප කළ බව ඇය සඳහන් කළාය. පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් පාසලේ බලධාරීන් දැනුවත් කළද, සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර තම පුතා පාසලෙන් ඉවත් කළ බවට ඇය චෝදනා කළාය.

මේ අතර, තවත් සිසුවෙකුගේ පියා පවසන්නේ තම පුතා අධ්‍යාපනික සහ ක්‍රීඩා කටයුතු දෙකෙහිම දක්ෂතා දැක්වූ බවත්, ගණිත කඳවුරක ක්‍රියාකාරීව කටයුතු කිරීම හේතුවෙන් ක්‍රීඩා පුහුණුකරු සමඟ ගැටලු ඇති වූ බවත්ය.

ඔහුගේ ප්‍රකාශයට අනුව, පුහුණුකරු විසින් තම පුතාට පරුෂ වචන භාවිත කරමින් බැණවැදී ඇති අතර, ක්‍රීඩා පුහුණුවීම්වලට සහභාගි කර නොගන්නා බවට තර්ජනය ද කර ඇත. තවද, නේවාසිකාගාරයේ තවත් සිසුන් පිරිසක් විසින් තම පුතාට පහර දුන් බවත්, ඒ පිළිබඳව පාසල් පරිපාලනය දැනුවත් කළද නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ඔහු කියා සිටියේය.

දෙමාපියන් පවසන්නේ, ක්‍රීඩා නේවාසිකාගාරයෙන් සිසුන් කිහිප දෙනෙකු පලා යාමේ සිදුවීම් ද වාර්තා වී ඇති අතර, එම සිදුවීම්වලට තම දරුවන් සම්බන්ධ බවට අසත්‍ය චෝදනා එල්ල කිරීමට උත්සාහ දරා ඇති බවයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණද, මේ දක්වා සාධාරණ විසඳුමක් නොලැබුණු බව දෙමාපියෝ පවසති. එමෙන්ම, කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව ක්‍රීඩා පාසල් චක්‍රලේඛ උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සිසුන් පාසලෙන් ඉවත් කළ බව සඳහන් ලිපිද තමන් වෙත ලැබී ඇති බව ඔවුහු කියති.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, පැමිණිලි ලැබීමෙන් අනතුරුව අදාළ පාසල, අධ්‍යාපන බලධාරීන් සහ පැමිණිලිකරුවන්ගේ නිවෙස් වෙත ගොස් තොරතුරු රැස්කර ඇති බවයි. එමෙන්ම, අදාළ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මූලික මානසික සහාය ද ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් පාසල් පරිපාලනය, අදාළ ක්‍රීඩා පුහුණුකරු සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර, ඔවුන්ගේ ප්‍රතිචාර ලැබීමෙන් අනතුරුව වැඩිදුර තොරතුරු වාර්තා කිරීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්