යෝෂිතගේ අභියාචනයේ තීන්දුව ජූලි තුන්වන දා!

තමන්ගේ 98 හැවිරිදි මිත්තණිය වන ඩේසි ෆොරස්ට් සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට එල්ල වී ඇති චෝදනාවකට එරෙහිව යෝෂිත රාජපක්ෂ විසින් ගොනුකර ඇති නීතිමය අභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව ජූලි 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඩේසි ෆොරස්ට් විසින් රුපියල් මිලියන 70ක වටිනාකමින් යුත් දේපළක් මිලදී ගැනීම සම්බන්ධයෙන්, 2025 පෙබරවාරි මාසයේදී කොළඹ මහාධිකරණය හමුවේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි. එහිදී එල්ල වූ චෝදනාව වූයේ එම දේපළ යෝෂිත රාජපක්ෂගේ ප්‍රයෝජනය සඳහා මිලදී ගෙන ඇති බවයි.

කෙසේවෙතත්, නඩු විභාගය අතරතුරදී ඩේසි ෆොරස්ට් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බවත්, ඒ හේතුවෙන් නඩු කටයුතුවලට මුහුණදීමට ඇයට නොහැකි බවත් අධිකරණය හමුවේ තහවුරු විය. ඒ අනුව කොළඹ මහාධිකරණය ඇයව නඩු කටයුතුවලින් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි.

ඉන් අනතුරුව, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් එක්ව අපරාධය සිදුකිරීමට කුමන්ත්‍රණය කළ බවට වෙනම අධිචෝදනාවක් යටතේ ඇයගේ නම නැවතත් අධිචෝදනා පත්‍රයට ඇතුළත් කර තිබුණි.

මෙයට විරෝධය පළ කරමින් යෝෂිත රාජපක්ෂ පෙන්වා දී තිබුණේ, වරක් නිදහස් කළ පුද්ගලයෙකු නැවත අධිචෝදනා පත්‍රයට ඇතුළත් කළ නොහැකි බවත්, තනි පුද්ගලයෙකුට කුමන්ත්‍රණයක් සිදුකළ නොහැකි බවත්ය.

කෙසේවෙතත්, 2026 මැයි 14 වැනිදා කොළඹ මහාධිකරණය එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ අතර, එම තීරණයට එරෙහිව යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ.

පසුගිය ජූනි 16 වැනිදා පැවති වාද විවාදවලදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හෆීල් ෆාරිස් කියා සිටියේ, සමස්ත චෝදනාව ඉල්ලා අස්කර නොගෙන එක් විත්තිකරුවකු පමණක් නිදහස් කිරීමට රජයේ නීතිඥවරයාට බලයක් නොමැති බවත්, එය කළ හැක්කේ නීතිපතිවරයාට පමණක් බවත්ය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමෙන් පසුව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම නීතිමය වශයෙන් ගැටලුකාරී වන බවත්, වරදකරු වුවහොත් යෝෂිත රාජපක්ෂට වසර හතක හෝ ඊට වැඩි සිරදඬුවමකට මුහුණදීමට සිදුවිය හැකි බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ, විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඩේසි ෆොරස්ට් ඩිමෙන්ෂියා රෝගියෙකු බව තහවුරු කිරීමෙන් පසු ඇයව නිදහස් කිරීම හැර වෙනත් විකල්පයක් නීතිපතිවරයා සතුව නොතිබූ බවයි.

තවද, කුමන්ත්‍රණ චෝදනාවක් ඉදිරියට ගෙන යාම සඳහා පුද්ගලයන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවය නීතිමය වශයෙන් අවශ්‍ය බැවින්, ඇයගේ නම නැවත අධිචෝදනා පත්‍රයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වූ බවද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

දෙපාර්ශවයේ දීර්ඝ කරුණු දැක්වීම්වලින් අනතුරුව, විනිසුරු ආර්. අමල් රණරාජා සහ වෛද්‍ය සුමුදු ප්‍රේමචන්ද්‍රගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුවේ තීන්දුව ජූලි 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියම කළේය.

Social Sharing
නවතම පුවත්