යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකාවට එල්ල වන අපහාසාත්මක මඩ ප්‍රහාර සහ වාචික ලිංගික හිංසනය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය දැඩිව හෙළා දකී!

පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී ප්‍රබල ආගමික නායකයෙකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය වෙනුවෙන් අධිකරණය හමුවේ නිර්භීතව සහ සෘජුව කරුණු දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) නීතිය බලගැන්වීමේ ඒකකයේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන් මහත්මියට එරෙහිව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව දියත් කර ඇති පහත් මඩ ප්‍රහාර සහ චරිත ඝාතන උත්සාහයන් රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් මධ්‍යස්ථානය තරයේ හෙළා දකියි.

සැකකරු සතු යැයි කියන සමාජ බලය හමුවේ ඇතැම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පවා පසුබෑමකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබූ පසුබිමක, රාජ්‍ය නිලධාරිනියක ලෙස සිය වගකීම ඉටු කරමින් ඇය අධිකරණය හමුවේ කළ සෘජු කරුණු දැක්වීම අපි අගය කරන්නෙමු. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ගේ ඇතැම් කරුණු දැක්වීම් අතිශය නාට්‍යානුසාරයෙන් වාර්තා කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, මෙම වෘත්තිකමය මැදිහත්වීම සම්බන්ධයෙන් අනුගමනය කළ නිහඬ පිළිවෙත සහ එය නිසි පරිදි වාර්තා නොකිරීම ද මෙහිදී අපගේ බලවත් කණගාටුවට කරුණකි.

අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මූලාශ්‍ර යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් නීතිඥවරියගේ චරිතයට හානි වන අයුරින් අතිශය ද්වේශසහගත, අවිචාරවත් සහ පහත් ප්‍රකාශ නිකුත් කරමින් සිටීම බරපතළ තත්ත්වයකි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සහාය වන රාජ්‍ය නිලධාරිනියක මානසිකව වට්ටවා වින්දිත දැරියගේ විමර්ශන යටපත් කිරීමේ හෝ දියාරු කිරීමේ අරමුණින් සිදුකරන මෙවැනි ක්‍රියා, පැහැදිලිවම කාන්තාවකට එරෙහිව සිදුකරන “වාචික ලිංගික හිංසනයක්” (Verbal Sexual Harassment) සහ සාපරාධී බිය ගැන්වීමක් ලෙස අප සංවිධානය හඳුනා ගනී.

එබැවින්, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය අදාළ බලධාරීන්ගෙන් පහත පියවර වහාම ක්‍රියාත්මක කරන ලෙස දැඩිව ඉල්ලා සිටියි:
1. වහාම විමර්ශනයක් ඇරඹීම: නීතිඥ සජීවනී අබේකෝන් මහත්මියට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චරිත ඝාතනයන් සහ වාචික ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් වහාම අපක්ෂපාතී විමර්ශනයක් ආරම්භ කිරීම.
2. පොලිස් අභ්‍යන්තර පරීක්ෂණ: මෙම අපහාසාත්මක ප්‍රකාශ සඳහා මූලාශ්‍ර සැපයූ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම විසින් කඩිනම් පරීක්ෂණයක් සිදු කොට ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම.
3. රාජ්‍ය ආයතනවල මැදිහත්වීම: ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික කාන්තා කොමිසම හුදු නිවේදනවලට පමණක් සීමා නොවී, වහාම මැදිහත් වී සිය රාජකාරිය ඉටු කළ මෙම නිලධාරිනියගේ වෘත්තීය ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රායෝගික පියවර ගැනීම.

වින්දිතයන් වෙනුවෙන් හඬ නඟන නිලධාරීන් අපහාසයට ලක්කර නිහඬ කිරීමට දරන ඕනෑම උත්සාහයක් යනු සමස්ත නීතියේ ආධිපත්‍යයටම එල්ල කරන මරු පහරකි. වින්දිත දැරියට යුක්තිය ඉටු කිරීම වෙනුවෙනුත්, සිය වෘත්තීය වගකීම නිර්භීතව ඉටුකළ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය ඇතුළු යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා වෙනුවෙනුත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කොන්දේසි විරහිතව පෙනී සිටින බව මෙයින් අවධාරණය කරමු.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය. (Right to Life Human Rights Centre) – 2026 මැයි 23

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය කියවීමට පහත සබැඳිය හා එක්වන්න

Press release – NCPA

Social Sharing
නවතම පුවත්