සුන්නත් කිරීමේදී බිළිඳෙකු මරණයට පත් කළ හොර දොස්තරට වසර 4ක සිරදඬුවම්!

මාලිගාවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින්, තමන් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (21) බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ.

නිසි වෛද්‍ය සුදුසුකම් හෝ පුහුණුවක් නොමැතිව මාස තුනක් වයසැති බිලිඳකු සුන්නත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකර, අධික රුධිර වහනයකින් එම දරුවා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වී ඇති බව ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙසේ දැඩි දඬුවම් නියම වූයේ මොහොමඩ් නියාස් නැමැති ව්‍යාජ වෛද්‍යවරයාට වන අතර, සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ෆර්සාන් හම්දාන් නැමැති මාස තුනක් වයසැති බිලිඳෙකි.

සාම්ප්‍රදායික ආගමික චාරිත්‍රයක් ඉටු කිරීම සඳහා මෙම බිලිඳාව 2014 වසරේ මැයි මස 29 වැනිදා මාලිගාවත්තේ පිහිටි අදාළ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි. එහිදී විත්තිකරු විසින් නිසි වෛද්‍ය ප්‍රමිතියෙන් තොරව සහ පහසුකම් රහිත ස්ථානයක මෙම සංවේදී ශල්‍යකර්මය සිදු කර ඇති අතර, එහිදී සිදු වූ දරුණු නොසැලකිලිමත්කම හේතුවෙන් බිලිඳාට අධික ලෙස රුධිරය වහනය වී ඇත.

පසුව දරුවා සිහිවිසඥ තත්ත්වයට පත්වීම නිසා වහාම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට රැගෙන එන විටත් බිලිඳා මියගොස් සිටි බව නඩු විභාගයේදී අනාවරණය විය.

නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරසේන මහතා පෙන්වා දුන්නේ, නිසි වෛද්‍ය ප්‍රමිතියකින් තොරව සිදුකළ මෙම ශල්‍යකර්මයේදී සිදු වූ අධික රුධිර වහනය සහ හුස්ම හිරවීම හේතුවෙන් මොළය මිය යෑමෙන් බිලිඳාගේ මරණය සිදුව ඇති බවයි.

Social Sharing
නවතම පුවත්