
හෙරොයින් සන්තකයේ තබාගත් බවට අසත්‍ය චෝදනා එල්ල කර පුද්ගලයන් දෙදෙනෙකු බන්ධනාගාර ගත කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අදාළ පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාල කටයුතු කර තිබේ.
ලුණුවිල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ, 2026 මාර්තු 10 වනදා රාත්‍රීයේ පැමිණිල්ලක් කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කිසිදු චෝදනාවක් නොමැතිව පසුදින උදෑසන දක්වා පොලිස් සිරමැදිරියේ රඳවා තබාගෙන පසුව හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවට අසත්‍ය චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ බවට අනාවරණය වීමෙන් අනතුරුවය.
එම පුද්ගලයන් දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර තිබූ අතර, පසුව එක් සැකකරුවෙකුගේ බිරිඳ විසින් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස්පතිවරයාගේ නියෝග මත හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, හෙරොයින් සන්තකයේ තබාගත් බවට අසත්‍ය චෝදනා මත එම පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි. ඒ අනුව විෂමාචාර ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාව මත පසුගිය 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත.
මේ අතර, අකුරැස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේද වැඩ තහනම් කර තිබේ.
ඔහුට එරෙහි චෝදනාව වන්නේ, මුදල් ඔට්ටු මත සූදු ක්‍රීඩාවක් පවත්වාගෙන ගිය නිවසක් වැටලීමට පොලිස් කණ්ඩායමක් පිටත්ව යාමට පෙර එම නිවෙස් හිමියාට ඒ පිළිබඳව දැනුම් දී රාජකාරිය පැහැර හැරීම සහ පොලිසියේ විශ්වාසය කඩවන ආකාරයේ දූෂිත ක්‍රියාවක නිරත වීමයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයාගේ සහ නිවෙස් හිමියාගේ ජංගම දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී දෙදෙනා අතර ඇමතුම් හුවමාරුවී ඇති බවටද අනාවරණය වී තිබේ. ඒ අනුව පෙරේදා (19) සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේද වැඩ තහනම් කර ඇත.
තවත් සිද්ධියකදී, බටපොළ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුණු තොරතුරු මත කරාපිටිය රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබූ අතර, එහිදී ඔහු “අයිස්” මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව පසුගිය 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම කොස්තාපල්වරයාගේද වැඩ තහනම් කිරීමට පියවර ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.
