
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය ඊයේ (20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් CID වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, අද දිනයේ පිටු 14ක දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු අනාවරණය කර ඇත්තේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 නාලිකාවට ප්‍රකාශ ලබාදුන් අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.
ඒ සඳහා CID අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් ඇති අතර, ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී එම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවද අධිකරණයට දැනුම් දෙන ලදී.
අසාත් මවුලානා ලබාදුන් ප්‍රකාශය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ විස්තර ඇතුළත් වන බවත්, එම ප්‍රකාශයට අනුව සුරේෂ් සලේ මෙම ප්‍රහාරයේ “මහ මොළකරු” ලෙස කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙම ක්‍රියාව දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා සිදුකර ඇති බවටද අසාත් මවුලානාගේ ප්‍රකාශයෙන් අනාවරණය වන බව අධිකරණයට දැනුම් දී තිබේ.
