ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනෙකුට අධික පිරිසකට ක්ෂය රෝගය!

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට ක්ෂය රෝගය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

එම රැඳවියන් සඳහා මාස තුනක කාලයක් පුරා සෑම ඉරිදා දිනකම ඖෂධ පෙති තුන බැගින් ලබා දීමට කටයුතු කර ඇති බව ද එම කාර්යාලය පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රැඳවියන් නිරන්තර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරමින් සිටින අතර, දැනට මෙම රෝගී තත්ත්වය බන්ධනාගාරයේ සිටින අනෙකුත් රැඳවියන් අතරට බෝවීමේ අවදානමක් නොමැති බව ද බන්ධනාගාර අධිකාරී කාර්යාලය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී රෝගය උත්සන්න වීමක් හෝ වෙනත් රැඳවියන් අතරට බෝවීමේ අවදානමක් මතුවුවහොත්, වෛද්‍ය නිර්දේශ මත අදාළ රැඳවියන් වැලිසර ළය රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද සඳහන් වේ.

දැනට පවතින තත්ත්වය අනුව ඖෂධ නිසි පරිදි භාවිතා කිරීමෙන් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව බන්ධනාගාර අධිකාරී කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම, මත්කුඩු භාවිතය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැඳවියන්ගෙන් 90%කට ආසන්න පිරිසකට ක්ෂය රෝගී තත්ත්වය පවතින බව ද වැඩිදුරටත් අනාවරණය කර ඇත.

Social Sharing
නවතම පුවත්