රුවන්වැල්ල පොලිසිය ව්‍යාජ මත්ද්‍රව්‍ය නඩුවක් දමා කාන්තාවක්ව මාස හතක් බන්ධනාගාර ගත කරලා.


රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ අටලුගම ගම්මානයේ පදිංචි වාසනා දිල්රුක්ෂි රාජපක්ෂ නම් සමාජ ව්‍යවසායිකාවක් 2018 වසරේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය නඩුවකට සම්බන්ධ කර බන්ධනාගාර ගත කළ සිද්ධියක් සම්බන්ධයෙන් වසර අටකට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් පසු ඇය නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

වාර්තා වන අන්දමට, 2018 ජූලි 25 වන දින සිය බාල පුතාව පාසලට ඇරලවා මව බැලීමට යාම සඳහා අටලුගම වැඩිහිටි නිවාසය අසල රැඳී සිටි අවස්ථාවේ රුවන්වැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ වාසනා දිල්රුක්ෂි රඳවාගෙන ඇගේ නිවස සෝදිසි කළ බව සඳහන් වේ.

ඇය පවසන්නේ, නිවස සෝදිසි කිරීමේදී කිසිදු සැකසහිත ද්‍රව්‍යයක් නොලැබුණු අතර, පසුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පිටතට ගොස් ටියුලිප් බෑගයක් රැගෙනවිත් නිවසේ තිබූ පොල් ගාන හිරමනය තුළට යම් පාර්සලයක් ඇතුළත් කළ බවයි. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ තමන්ට පරුෂ වචනයෙන් බැණ වැදී මාංචු දමා රඳවාගත් බවද ඇය සඳහන් කරයි.

ඉන් අනතුරුව පොලිස් සුනඛයකු ගෙන්වා මුළු නිවසම සෝදිසි කර ඇති අතර, කිසිදු ද්‍රව්‍යයක් හමු නොවීම හේතුවෙන් නිලධාරීන් හිරමනය පරීක්ෂා කරමින් එහි තිබූ බව කියන පාර්සලය පිටතට ගෙන “මේවා මොනවද බලන්න” යනුවෙන් පවසා ඇය මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට චෝදනා කළ බවද වාර්තා වේ.

පසුව ඇය අටලුගම හන්දිය දක්වා පයින් රැගෙන ගොස් පොලිස් ජීප් රථයකින් රුවන්වැල්ල පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. 2018 ජූලි 26 වන දින අධිකරණයට ඉදිරිපත් කළ ඇය එදිනම කුරුවිට බන්ධනාගාරයට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මාස හතකට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටි වාසනා දිල්රුක්ෂි 2019 පෙබරවාරි 11 වන දින ඇප මත නිදහස් වී තිබූ අතර, එතැන් සිට වසර අටකට ආසන්න කාලයක් නඩුව විභාගයට ලක්ව තිබේ.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ රස පරීක්ෂක වාර්තාව අනුව, අදාළ පාර්සලයේ බර හා එහි අඩංගු බව කියන හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් පරස්පර තොරතුරු අනාවරණය වී තිබූ අතර, පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි අතරද විවිධ පරස්පරතා පැවති බව අධිකරණය හමුවේ හෙළි වී ඇත.

සියලු කරුණු සලකා බැලූ අධිකරණය 2026 මාර්තු 11 වන දින වාසනා දිල්රුක්ෂි රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.
නිදහස ලැබීමෙන් පසු ඇය ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට හා තම පවුලට සිදු වූ අසාධාරණය සහ සමාජ අපහාසය වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කරන ලෙසයි.

සිද්ධියට අදාල වීඩීයෝව පහතින්

https://www.facebook.com/share/v/1J7k3MQapQ/ 

Social Sharing
නවතම පුවත්