ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ගැටලු පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, එම අධ්‍යයනාංශයේ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල මඟින් වෘත්තීයමය පීඩනය, අධ්‍යයන නිදහසට බාධා කිරීම, පරිපාලන අකර්මණ්‍යතාවය සහ විමර්ශන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

පැමිණිල්ලට අනුව, 2024 වසරේ සිට අදාළ අධ්‍යයනාංශය සම්බන්ධයෙන් මූලික විමර්ශන පහක් පවත්වා ඇති අතර, එම විමර්ශනවලදී අංශාධිපතිනියගේ පරිපාලන, වෘත්තීයමය සහ සදාචාරාත්මක ගැටලු සනාථ වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති බවත් සඳහන් වේ.

මෙම විමර්ශන වාර්තා අප්‍රේල් 09 වන දින විශ්වවිද්‍යාල පාලක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පාලක සභාවේ සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කර තිබේ. එම කමිටුව විසින්ද වැඩිදුර නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එම නිර්දේශ අතර, දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ වත්මන් අංශාධිපතිනියට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම, විනය පරීක්ෂණය අවසන් වන තෙක් ඇයගේ රාජකාරි අත්හිටුවීම, වෙනත් අධ්‍යයනාංශයකින් වැඩබලන අංශ ප්‍රධානියෙකු පත් කිරීම සහ මූලික විමර්ශනවල නිරීක්ෂණ හා නිර්දේශ විධිමත් චෝදනා පත්‍රයකට ඇතුළත් කිරීම ඇතුළත් වේ.

කෙසේ වෙතත්, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම, කල්දැමීම සහ හිතාමතා වැරදි ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සාධාරණ පරිපාලන ක්‍රියාවලිය බරපතළ ලෙස අඩාල වී ඇති බව පැමිණිල්ල මඟින් චෝදනා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් අධ්‍යයන නිදහස, වෘත්තීය ගෞරවය සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ට හිමි සාධාරණ හා සුරක්ෂිත සේවා පරිසරය දැඩි බලපෑමකට ලක්ව ඇති බව ද එහි සඳහන් වේ.

ඒ අනුව, මෙම කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකර, වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් ඉල්ලීමක් කර තිබේ.

Social Sharing
නවතම පුවත්