
පසුගිය කාලවකවානු තුළ මෙරට අන්තර්ජාලය ඔස්සේ සිදුවූ මූල්‍ය වංචාවන් මැඩපැවැත්වීමට සයිබර් ආරක්ෂණ නීති ශක්තිමත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කරයි. ඒ අනුව මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන හඳුන්වා දෙමින් මේ අයුරින් ඩිජිටල් වේදිකා හරහා සිදුකරනු ලබන වංචා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රජය ඉක්මනින් ක්‍රියාමාර්ග ගනු ඇත.
තවද අපරාධකරුවන් වංචා සඳහා මාර්ගගත සූදු වේදිකා භාවිත කිරීම නැවැත්වීමටද සූදු නියාමන අධිකාරී පනත යටතේ නව රෙගුලාසි ද හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.
වාර්තාවන අන්දමට ඒ සමඟම, රජය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහාය ඇතිව අධිආරක්ෂිත ෆයර්වෝල් පද්ධතියක් ගොඩනඟමින් සිටින බව ද වාර්තා වේ. මෙම පද්ධතිය මුදල් අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතනවලට අයත් සංවේදී තොරතුරු ආරක්ෂා කරනු ඇත.
ඒ අනුව හැකර්වරුන් එක් පද්ධතියකට පහරදීමට උත්සාහ කළහොත්, ෆයර්වෝල් එක සම්බන්ධිත සියලුම ආයතන වහාම දැනුවත් කරන බව නිලධාරීහු පවසති. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (DIG) යටතේ විශේෂ පොලිස් සයිබර් අපරාධ අංශයක් නිර්මාණය කිරීමට ද රජය සැලසුම් කරයි.
නව ඒකකය සියලුම පළාත් පුරා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විදේශීය සයිබර් අපරාධ කණ්ඩායම් ඇතුළු මාර්ගගත වංචාකරුවන් නිරීක්ෂණය කිරීමට උසස් තාක්ෂණය භාවිත කරනු ඇත
