රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් ඉන්ධන, විදුලි සහ භාණ්ඩ මිල ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සිදුවුවහොත් ඉන්ධන මිල, විදුලි සහ ජල බිල්පත් ගාස්තු මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලද ඉදිරියේදී ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මහ බැංකුව විසින් පද්ධතියේ ඇති ඩොලර් මිලදී ගැනීම සහ වෙළෙඳපොළ තුළ රුපියල් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඩොලර් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

ඔහු පෙන්වා දුන්නේ, ලෝකයේ පවතින භූ දේශපාලනික අර්බුද හේතුවෙන් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම අඩුවීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් රටට ගලා එන ඩොලර් ප්‍රමාණය ද පහත වැටී ඇති බවයි.

ඒ අනුව රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් ඛනිජ තෙල් ආනයන වියදම් ඉහළ යා හැකි බවත්, එහි සෘජු බලපෑම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යාම ලෙස දැකිය හැකි බවත් ඔහු පැවසීය.

“පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්. අපි තෙල් ආනයනය කරන්නේ ඩොලර්වලින්. ඒ නිසා රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම ඉන්ධන මිල ඉහළ යනවා කියන එක. තෙල් මිල ඉහළ යාමත් එක්ක උද්ධමනය වැඩිවෙලා විදුලි බිල, ජල බිල සහ භාණ්ඩ මිලත් ඉහළ යා හැකියි,” යනුවෙන් ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, 2023 දෙසැම්බර් 22 වැනිදායින් පසු අමෙරිකානු ඩොලරයක ඉහළම විකුණුම් මිල ඊයේ වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඊයේ (15) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.15ක් ලෙස සටහන් වූ බවයි.

පෙරේදා දිනයේදී ද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

Social Sharing
නවතම පුවත්