Face ID: මරණයෙන් පසුත් iPhone එකේ අගුළු ඇරිය හැකි ද?

ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයේ ආරක්ෂාව පිළිබඳ ලොව පුරා විශාල පෙරළියක් ඇති කළ තාක්ෂණයක් ලෙස Apple සමාගම හඳුන්වා දුන් Face ID පද්ධතිය යළිත් ශ්‍රී ලංකාවේ අවධානයට ලක්ව තිබේ.

පසුගියදා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් අනතුරුව ඔහු භාවිත කළ ජංගම දුරකතනයේ අගුළු ඇරීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළ බවට වාර්තා පළ වීමත් සමග Face ID තාක්ෂණය පිළිබඳ දැඩි කතාබහක් ඇති වී ඇත.

Face ID යනු Apple සමාගම විසින් iPhone X මාදිලිය සමග හඳුන්වා දුන් ජෛවමිතික ආරක්ෂණ තාක්ෂණයකි. TrueDepth කැමරා පද්ධතිය භාවිත කරමින් පරිශීලකයාගේ මුහුණේ ජ්‍යාමිතික හැඩතල, depth map සහ infrared image එකක් ග්‍රහණය කර ඒවා Secure Enclave තුළ සංකේතනය කර සුරක්ෂිතව ගබඩා කරයි.

Apple සමාගම පවසන්නේ, Face ID මගින් මුහුණේ ත්‍රිමාණ (3D) තොරතුරු භාවිත කරන බැවින් සාමාන්‍ය ඡායාරූප හෝ 2D පින්තූර මගින් එය මඟහැරීම අපහසු බව ය. තවද, පරිශීලකයාගේ ඇස් විවෘතව තිබීම සහ අවධානය දුරකතනය වෙත යොමු වී තිබීම ද මෙම පද්ධතිය හඳුනා ගන්නා බව සඳහන් වේ.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පවසන්නේ, Face ID වැනි ජෛවමිතික ආරක්ෂණ ක්‍රම දුරකතන ආරක්ෂාව සඳහා භාවිත වන වඩාත් සුරක්ෂිත ක්‍රම අතරට අයත් වන බව ය.

ඔහු සඳහන් කළේ, එම තාක්ෂණය භාවිත කරන පුද්ගලයා ජීවී තත්ත්වයේ සිටින බව පවා හඳුනා ගැනීමේ හැකියාව එයට ඇති බවයි.

“ජෛවමිතික දත්ත භාවිත කරලා උපාංගයක් unlock කරන එක තමයි ආරක්ෂිතම ක්‍රමයක්,” යනුවෙන් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, Face ID පද්ධතිය මඟහැර දත්ත ලබා ගැනීමට ඩිජිටල් ෆොරෙන්සික් උපකරණ භාවිත කරන ආයතන ලොව පවතින බව ද විශේෂඥයා පෙන්වා දුන්නේය.

ඔහු පවසන්නේ, දුරකතනයේ මාදිලිය, නිෂ්පාදිත වර්ෂය සහ ආරක්ෂණ මට්ටම අනුව දත්ත ලබා ගැනීමේ හැකියාව වෙනස් වන බවයි.

මෙවැනි අවස්ථාවලදී නීතිමය සහ සදාචාරාත්මක ගැටලු ද මතුවන බව ඔහු අවධාරණය කළේය.

“දුරකතනයක් අයිති පුද්ගලයාගේ කැමැත්ත නැතුව එයට ප්‍රවේශ වීම ගැටලු සහගතයි. ඒකට නීතිමය ක්‍රමවේදයක් සහ අධිකරණ අනුමැතියක් තිබිය යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර 2016 වසරේ ඇමෙරිකාවේ සැන් බර්නාඩිනෝ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු, FBI ආයතනයට සැකකරුගේ iPhone දුරකතනය unlock කිරීමට අවශ්‍ය වූ අවස්ථාවක Apple සමාගම සහය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිණි. පසුව ඊශ්‍රායල් සයිබර් ආරක්ෂණ සමාගමක් වන Cellebrite මගින් එම දුරකතනයේ දත්ත වෙත ප්‍රවේශය ලබා ගත් බව වාර්තා විය.

එමෙන්ම Apple සමාගම Legacy Contact නමැති විශේෂාංගයක් ද හඳුන්වා දී ඇති අතර, එය භාවිත කර පරිශීලකයෙකුට තම මරණයෙන් පසු විශ්වාසවන්ත පුද්ගලයෙකුට Apple ගිණුමේ සහ iCloud දත්තවල ප්‍රවේශය ලබා දිය හැකිය.

කෙසේ වෙතත්, iCloud Keychain මුරපද වැනි සංවේදී දත්ත වෙත Apple සමාගමට පවා සෘජු ප්‍රවේශය නොමැති බව එම සමාගම සඳහන් කරයි.

ය්පුටා ගැනීම BBC සිංහල

Social Sharing
නවතම පුවත්